ඡන්දය දැමීමට ජනතාවගේ විශාල උනන්දුවක්

අගෝ 05, 2020

    2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 07.00 ට ආරම්භ විය. ඒ සඳහා ජනතාව තුළ විශාල උනන්දුවක් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

    මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.

    ඡන්දය භාවිත කිරිම සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 ක් ස්ථාපිත කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    2019 ඡන්ද නාමලේඛනයට අනුව මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසුපහකි.

    මින් වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර එම සංඛ්‍යාව දාහත් ලක්ෂ අසුපන්දහස් නවසිය හැටහතරක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් 17 ලක්ෂ 9209 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 13 ලක්ෂ 48,787 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන 11ලක්ෂ 29,100 ක් මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

    අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර එම සංඛ්‍යාව දෙලක්ෂ 87,024ක් වන බව සඳහන් වේ.

    මේ අතර මෙවර මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් සභිකයින් 19 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට නියමිතය.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 15 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 12 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් දස දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතව තිබේ.

    ගාල්ල, කෑගල්ල, බදුල්ල සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්ක වලින් සභිකයින් 9 දෙනා බැගින් ද, නුවරඑළිය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් සභිකයින් 8 දෙනා බැගින් තෝරාපත් කර ගැනීමට නියමිතය.

    මාතර, හම්බන්තොට, යාපනය සහ දිගාමඩුල්ල යන දිස්ත්‍රික්කවලින් සභිකයින් 7 දෙනා බැගින් පත් කර ගැනීමට නියමිත අතර වන්නි සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් සභිකයින් 6 දෙනා බැගින්ද, පොළොන්නරුව, මඩකලපුව, මාතලේ යන දිස්ත්‍රික්කවලින් සභිකයින් 5 දෙනා බැගින් ද ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් සභිකයින් සිව් දෙනෙකු ද මෙවර මහ මැතිවරණයේ දී තෝරාපත් කර ගැනෙයි.

    මීට පෙර අවස්ථා දෙකක දී මහ මැතිවරණය පැවැත්විම සඳහා දින නියම කළ ද කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් එය කල්දැමීමට සිදුවිය.

    මේ අතර මේවන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින ඡන්ද දායකයින්ට පස්වරු 04.00 න් පසු ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව සලසා දී තිබේ.

    ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානය වෙත යන අවස්ථාවේ දී ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාව මඟින් පිළිගෙන ඇති හැඳුනුම්පතක් රැගෙන යාම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

    මේ අතර මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය ඔස්සේ ද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ දෙවන පිටපතක් භාගත කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැති වුව ද ලියපදිංචි ඡන්ද දායකයින්ට සිය අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවෙයි.

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ දක්වාත් ලැබී නොමැති ඡන්ද දායකයින්ට අද දිනයේ දී ද තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල මඟින් අදාළ නිල ඡන්ද දැන්විම් පත්‍රිකා ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කරයි.

    මෙවර මහ මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50,000 කට වැඩි පිරිසක් මේ වන විට අනුයුක්ත කර ඇති බව පොලිස් මැතිවරණ කොට්ඨාසය පවසයි.

    මෙවර මහ මැතිවරණයේ නිරික්ෂණ රාජකාරි සඳහා 5000කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

    Latest News