අතිවිශාල ඡන්ද ප්‍රමාණයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගන්නවා; අගමැති (වීඩියෝ)

අගෝ 03, 2020
  • මහ මැතිවරණයේදී, අතිවිශාල ඡන්ද ප්‍රමාණයකින් ජයගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇතැයි එහි නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහභාගි වූ අවසන් ජනහමුව ඊයේ පැවැත්වුණේ වැලිගම ප්‍රදේශයේදී.

    අවසන් ජනහමුවට සහබාගිවීමට පෙර අග්‍රාමාත්‍යවරයා ඊයේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමු රැසකට ද එක්විය. වලස්මුල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ ද ජන හමුවක් සංවිධාන කර තිබූ අතර, ඊට මෙවර පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයින් රැසක්ව එක්ව සිටියහ.

    බෙලිඅත්ත ප්‍රාදේශීය සභා රථගාල අසල ද තවත් ජනහමුවක් සංවිධාන කර තිබිණ. ඊට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, රට දියුණු කිරීම උදෙසා ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනා එක්විය යුතු අවස්තාව එළඹ ඇති බවයි.

    තංගල්ල ප්‍රදේශයේ කාන්තා හමුව සඳහා ද අග්‍රාමාත්‍යවරයා ඊයේ සහභාගි විය.

    මහ මැතිවරණයෙන් පසු පිහිටුවන නව ආණ්ඩුව යටතේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා සියලු ජනතාවට සංවර්ධනයේ හිමිකාරීත්වය ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, තංගල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමින්.

    අග්‍රාමාත්‍යවරයා මෙවර මහ මැතිවරණයේ අවසන් ජන රැලියට සහභාගි වුණේ වැලිගම ප්‍රදේශයේදී. එම අවස්ථාවට ද විශාල ජනකායක් එක්ව සිටියහ.

    Last modified on සදුදා, 03 අගෝස්තු 2020 20:14

    Latest News