ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක් ගොඩනඟනවා; ජනපති (වීඩියෝ)

අගෝ 03, 2020
  • ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන ප්‍රතිපත්තියක් මත පදනම්ව ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක් ගොඩනඟන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    දේශීය ව්‍යවසායකයා ශක්තිමත් කිරීම රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරඟ වැද සිටින අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කරණු පිණිස ඊයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය. මහ මැතිවරණය වෙනුවෙන් දිවයින පුරා චාරිකා කළ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහභාගි වූ අවසන් ජනහමුව පැවැත්වුණේ, තංගල්ල නගර සභාව අසළයි. එය සංවිධාන කළේ, අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ සහ ඩී.වී. චානක යන මහත්වරුන්.

    අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ මහතා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව අසළ සංවිධාන කළ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගි විය.

    අපේක්‍ෂක ලයනල් සුබසිංහ මහතා සංවිධාන කළ ජනහමුව පැවැත්වුණේ, වලස්මුල්ල මහජන ක්‍රීඩාංගණයේදී. ඊට වැඩම කළ මහා සංඝරත්නය ඉල්ලා සිටියේ, වලස්මුල්ලට ප්‍රාදේශීය සභාවක් ලබාදෙන ලෙසයි. වලස්මුල්ල නගරයේ පවතින ගැටලු පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළේය. සිසුන් නොමැතිව වසා දමා ඇති යහල්මුල්ල ප්‍රදේශයේ පාසලක් වෙනත් කර්තව්‍යයකට යෙදීමට ඇති හැකියාව පිලිබඳව ද ජනතාව පෙන්වා දුන්නේය.

    මිද්දෙණිය මහින්ද රාජපක්‍ෂ වෙළෙඳ සංකීර්ණය අසළ සංවිධාන කළ ජන හමුවට ද ජනාධිපතිතුමා එක්විය. එය සංවිධාන කළේ, අපේක්‍ෂක කපිල දිසානායක මහතායි. ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා රැස්ව සිටි පිරිසගෙන් ප්‍රදේශයේ පවතින අඩුපාඩු පිලිබඳ විමසා සිටියේය. මිද්දෙණිය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලය අලුත්වැඩියා කර දෙන ලෙස කළ ඉල්ලීම එම අවස්ථාවේම යුද හමුදාපතිවරයාට දැනුම් දුන් ජනාධිපතිතුමා එය ඉටුකර දෙන ලෙස නියෝග කළේය.

    Last modified on සදුදා, 03 අගෝස්තු 2020 20:18

    Latest News