පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුමකින් මුදල් මුදාහැරීමට නියෝගයක්

ජූලි 29, 2020

    මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තත්කාලීන දඩ ගෙවීම් පද්ධති ගිණුමෙන් රුපියල් පහලොස් ලක්ෂ අටදහසක මුදලක් එම සමාගමේ මුදල් ආයෝජනය කළ කාන්තාවක් වෙත මුදාහැරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට නියෝග කළා.

    අදාල සමාගමේ මුදල් ආයෝජනය කළ ස්ටෙලා අයිරාංගනී දිසානායක නමැති කාන්තාවක් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරනය හමුවේ කරුණු දක්වමින් තමන් විසින් අදාළ සමාගමේ සිදුකළ ආයෝජන වෙනුවෙන් රුපියල් පහලොස් ලක්ෂ අටදහසක මුදලක් ලාභාංශ වශයෙන් ලැබීමට නියමිතව තිබෙන බව සඳහන් කළා.

    ඒ අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බැංකු ගිණුම්වලින් තමන්ට හිමි විය යුතු එම මුදල මුදාහරින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද ඇගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

    එම ඉල්ලීමට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම ආයෝජිකාව විසින් ආයෝජනය කළ මුදල් කල් පිරී තිබේ නම් එය මුදාහැරීම සම්බන්ධයෙන් විරෝධයක් නොමැති බව සිය නීතිඥවරයා මාර්ගයෙන් දන්වා සිටියා.

    ඒ අනුව අදාළ තැනැත්තිය විසින් ඉල්ලා සිටින මුදල පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ තත්කාලීන දඩ ගෙවීම් පද්ධති ගිණුමෙන් මුදාහැරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට නියෝග කළා.

    අනතුරුව පැමිණිල්ල නොවැම්බර් මස 12 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදිනම මෙම බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.

    Latest News