පාස්කු ජනාධිපති කොමිසම හමුවේ වැදගත් කරුණු රැසක් හෙළිවේ

ජූලි 24, 2020

    ජාතික ආරක්‍ෂක කවුන්සිලය සතිපතා පවත්වන ලෙසට බුද්ධි අංශ සහ ආරක්‍ෂක අංශ ප්‍රධානීන් ඉල්ලීම් කළ ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ එකඟතාව මත එය මසකට වරක් පැවැත්වීම දක්වා අඩු වූ බව, හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා පවසයි.

    පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ඔහු සඳහන් කලේ, ජාතික ආරක්‍ෂක කවුන්සලය පැවැත්වීමට ඇතැම් අවස්ථාවලදී ජනාධිපතිවරයාගෙන් දිනයක් පවා ලබාගැනීමට සිදුවූ බවයි.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්‍ෂි ලබාදුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පී.බී. අබේකෝන් මහතායි. සාක්‍ෂි ලබාදීම ආරම්භ කරමින් ඔහු සඳහන් කළේ, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ දිනට පසුදින එනම්, 2015 ජනවාරි 09 වැනිදා සිට 2017 ජුනි 30 වැනිදා දක්වා තමන් ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ බවයි. පුද්ගලික හේතුවක් මත එම ධූරයෙන් ඉල්ලා අස්වූ බව ද ඔහු කියා සිටියේය.

    මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්‍ෂිකරුගෙන් විමසුවේ, ඔබ ධුරය දරන සමයේ ජාතික ආරක්‍ෂක කවුන්සලය රැස්වූයේ කෙසේද යන්නයි. ඊට පිළිතුරු ලෙස හිටපු ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ මුලින් සතිපතා රැස්වුවත් ජනාධිපතිවරයා විදේශ ගමන් සඳහා එක්වීම සහ රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලු නොතිබීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් එම රැස්වීම සතිපතා පැවැත්විමට නොහැකි වූ බවයි.

    කෙසේ නමුත් ආරක්‍ෂක අංශ හා බුද්ධි ප්‍රධානීන් ජාතික ආරක්‍ෂක කවුන්සලය සතිපතා පවත්වන ලෙස ඉල්ලීම් කළත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ එකඟතාව මත සතිපනා රැස් නොවූ බව, හිටපු ජනාධිපති ලේකම්වරයා කොමිසමට හෙළි කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රජය පත්වූ මුල් අවස්ථාවලදී එක්රැස්වීමක් අවසානයේ දී මීළඟ රැස්වීම

    පැවැත්වෙන දිනය තීරණය කෙරුණ ද පසු අවස්ථාවලදී ජාතික ආරක්‍ෂක කවුන්සලය පැවැත්වීමට හිටපු ජනාධිපතිවරයාගෙන් දිනයක් පවා ලබාගැනීමට සිදුවූ බවයි. කොමිසම මෙහිදී විමසුවේ ප්‍රසිද්ධ රහසක් වන හිටපු ජනපති සහ හිටපු අගමැති අතර තිබූ ගැටුම එම රැස්වීම්වලට බලපෑමක් එල් කළේද යන්නයි. මුල සිටම යම් යම් ගැටලු දෙදෙනා අතර පැවතුනත් ඒවා එම කාලයේ දී කරළියට නොපැමිණි බව සඳහන් කළ හිටපු ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ,

    දෙදෙනා අමනාපයෙන් අවසන් වූ ආරක්‍ෂක කවුන්සිල රැස්වීම් ද පැවති බවයි. ජාතික ආරක්‍ෂාවට බලපාන කරුණු දැනුවත් කිරීමට එක් රැස්වීමක් පවත්වා තවත් රැස්වීමක් පවත්වන තෙක් නොසිට බුද්ධි ප්‍රධානීන්ට ජනපතිව දැනුවත් කිරීමේ ක්‍රමයක් තිබුණේ දැයි කොමිසම මෙහිදී විමසීමක් කළේය.

    එහිදී සාක්‍ෂිකරු පැවසුවේ එවැනි අවස්ථාවල රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ ඩිලන්ත ජයවර්ධන මහතා ජනාධිපතිවරයා සෘජුව මුණගැසී සාකච්ජා කරන අයුරු තමන් ජනාධිපතිවරයාගේ කාමරයේ රැඳී සිටින අවස්ථාවලදී දැක ඇති බවයි. ඇතැම්විට තමන් ද මැදිහත් වී ඊට අවස්ථාව ලබාදී ඇති බව ඔහු කියා සිටියේ, රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී ප්‍රශ්න කළේ, එම රැස්වීම්වලදී ආගමික අන්තවාදය ගැන කරුණු සාකච්ජා වුයේද යන්නයි.

    එවැනි කරුණු සාකච්ජා වූ බවත්, අයි.එස්. ත්‍රස්ත සංවිධානයට එක්වීමට මෙරටින් පිරිසක් ගොස් ඇතැයි, වරක් බුද්ධි අංශ අනාවරණය කෙරූ අතර උතුරු-නැගෙනහිර ක්‍රියාත්මක වන ආගමික අන්තවාදී රැස්වීම් පිළිබඳව ද සාකච්ජා වූ බව සාක්‍ෂිකරු සඳහන් කලේය. 

    එමෙස්ම මෙරට ක්‍රියාත්මක වන මද්‍රසා පාසල් මගින් මුස්ලිම් තරුණයන් අන්තවාදයට යොමු වෙමින් සිටින බව, 2017 වසරේදී ආරක්‍ෂක කවුන්සලයට අනාවරණය වූ බවද ඔහු පැවසුවේය. සාක්‍ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ, මුස්ලිම් කාන්තාවන් “බුර්කාව“ පැළඳීම ජාතික ආරක්‍ෂාවට බලපෑම් ඇතිවිය හැකි බවත්, ඇතැම් මුස්ලිම් ජාතික පිරිමි පුද්ගලයින් බුර්කාව පැළඳ සිදුකරන අවභාවිත කිරීම් හරහා ඒ බව පෙනී යන බවත් බුද්ධි අංශ ආරක්‍ෂක කවුන්සලයට දැන්වූ බවයි.

    එහෙත් ඒවා නැවැත්වීමට කිසිදු තීරණයක් නොගෙන ඒ පිළිබඳ සොයා බැලීමට උපදෙස් පමණක් ආරක්‍ෂක අංශවලට ලබාදුන් බව හිටපු ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය. යහපාලන මූලධර්මවලට සහ ආගමික හා ජාතික සංහිඳියාවට බාධාවක් නොවන සේ එම පරීක්‍ෂා කිරීම් සිදුකරන ලෙස උපදෙස් දුන් බව ද සාක්‍ෂිකරු පැවසුවේය.

    හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා තවදුරටත් කියා සිටියේ ඒවා නැවැත්වීමට තීරණය කළ යුතු බවට නිලධාරීන් ලෙස තමන් ඇතුළු අය සිතුවත් දේශපාලන අධිකාරිය එයට ඉඩ නොදුන් බවයි.

    Latest News