තහනම් දැලෙන් මාළු ඇල්ලුවොත් නීතිය දැඩිව

ජන 04, 2019

    ලයිලා සහ සුරුක්කු දැල් භාවිත කරමින් ධීවර කර්මාන්තයේ නිරතවීම තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා නියෝග කර තිබේ.

    සාගරයේ මත්ස්‍ය ගහනය විශාල ලෙස අඩුවීම දේශීය ධීවර කර්මාන්තයේ අනාගතයට බරපතල ගැටළු මතු කරන්නක් බැවින් මෙම දැල් තහනම් කිරීමට තීරණය කර තිබේ. මෙම තහනම 2019.01.01 දින සිට බල පැවැත්වෙන වන පරිදි ක්‍රියාත්මක කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල් වෙත 2019.01.02 දින ලිඛිතව දැනුම් දී තිබේ.

    ලයිලා සහ සුරුක්කු දැල් භාවිතය නිසා ධීවර රැකියාවේ නිරත කුඩා යාත්‍රා හිමියන් සහ එම යාත්‍රා වල ධීවර රැකියාවේ නිරත දහස් ගණනක් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ධීවර සංගම් , මහජන නියෝජිතයින් ඇතුළු විවිධ පාර්ශව වෙතින් කරුණු ඉදිරිපත් කර තිබුණි. ඒ පිලිබඳව අමාත්‍යංශ නිලධාරීන්, නාරා ආයතනය ඇතුළු පාර්ශව වලින් කරුණු විමසීමෙන් අනතුරුව මෙම තහනම පැනවීමට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා තීරණය කළේය.

    නාරා ආයතනය මගින් මෙතෙක් කල පර්යේෂණ අනුව පුත්තලම දිස්ත්‍රික්කය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අලගොඩු නැමැති මත්ස්‍ය විශේෂය නොමැති බව තහවුරු කර ඇත. එවන් තත්වයක් හමුවේ ඉහත මුහුදු ප්‍රදේශයේ අලගොඩු පන්න ක්‍රමය සදහා බලපත්‍ර ලබාදීම ගැටළු සහගත බවට අවස්ථා කිහිපයකදීම පෙන්වා දී තිබුණි.

    අදාළ බලපත්‍රය අනුව ගොඩබිම සිට මුහුදු සැතපුම් 10 කට එපිටින් මෙම පන්න ක්‍රමය භාවිතා කළ යුතු වුවත් එම පන්න ක්‍රමය භාවිත කරනුයේ ගොඩබිමට ආසන්න මුහුදු ප්‍රදේශයේ බව තහවුරු කරගැනීමට පර්යේෂණ කණ්ඩායම් සමත්ව තිබේ. එම පර්යේෂණ වලට අනුව මෙම ලයිලා සහ සුරුක්කු දැල් භාවිතය හේතුවෙන් ගොඩබිම ආසන්නයේ මත්ස්‍ය සම්පත විනාශ වීමේ බරපතල තත්වයක් මතුව ඇත.

    Latest News