රාජසභා ගොඩනැගිල්ල පංච පුද්ගල කමිටුවේ පරීක්‍ෂාවට (වීඩියෝ)

ජූලි 18, 2020
  • 13 වැනි සියවසේ, කුරුණෑගල රාජධානී සමයට අයත් රාජසභා ශාලාව ලෙස සැලකෙන ගොඩනැගිල්ලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ වාර්තාව, ලබන සඳුදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    අග්‍රාමාත්‍යවරයාගේ උපදෙසින් පත් කෙරුණු පංච පුද්ගල කමිටුවේ සාමාජිකයින් අද කුරුණෑගල ප්‍රදේශයට ගොස් ස්ථානීය පරීක්‍ෂාවක් සිදු කළේය. එහිදී මේ බව ප්‍රකාශ කෙරිණ.

    විමර්ශන කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කළ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා කියා සිටියේ, හානි තක්සේරුව හා එම ගොඩනැගිල්ල යළි ඉදිකොට සංරක්‍ෂණය කිරීමේ හැකියාවක් තිබේ ද යන්න පිළිබඳ මෙහිදී සොයා බැලූ බවයි. එසේ තිබේ නම්, එම ඉදිකිරීම සිදුකරන ආකාරය පිළිබඳව ද අවධානය යොමු කරන බව ඔහු සඳහන් කළේය.

    13වන සියවසේදී කුරුණෑගල රාජධානිය කරගත්, පළමුවැනි බුවනෙකබාහු රජතුමා විසින් ඉදිකරන ලද රාජ සභා මණ්ඩපය ලෙස මෙය සැලකේ. මෙම ගොඩනැගිල්ල 1940 අංක 09 දරණ පුරාවිද්‍යා ආඥා පනත යටතේ පුරාවිද්‍යා රක්‍ෂිත ස්මාරකයක් ලෙස න ම්කර තිබේ. එම ගොඩනැගිල්ලේ කොටසක් පසුගියදා කඩා දමා තිබිණ.

    Last modified on සෙනසුරාදා, 18 ජූලි 2020 20:12

    Latest News