2019 අය වැය මාර්තු 5 වැනිදා

ජන 03, 2019

    රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ශක්තිමත් කරමින් 2021 වන විට අත්පත්කර ගැනීමට සැලසුම්කර ඇති ඉලක්ක කිහිපයක් මුල්කර ගනිමින් 2019 වර්ෂය සඳහා වූ ජාතික අය වැය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    ඒ අනූව, දළ දේශීය නිෂ්පාදිතය 18% දක්වා වැඩිකිරීම, පුනරාවර්තන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%කට සීමා කිරීම, රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.5%ක ප්‍රතිශතයක පවත්වාගෙන යාම, අය වැය හිගය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක සීමාවේ පවත්වා ගැනීම යන ඉලක්ක සපුරා ගැනීම මෙවර අය වැය තුළින් අපේක්ෂ කෙරේ.

    නොපියවූ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%ක ප්‍රතිශතයකට වඩා අඩුවෙන් පවත්වාගෙන යාම ද තවත් ඉලක්කයක් වෙයි.

    අය වැය මාර්තු මස 05 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනූව අය වැය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

    2019 වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝම්බර් 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. පාර්ලිමේන්තු වාර අවසන් කිරීම තුළින් ඊට අනුමැතිය ලබාගැනීමට නොහැකි විය. ඒ අනූව වර්ථමාන රජය බලයට පැමිණීමෙන් පසු 2019 වර්ෂයේ මුල් මාස 4ක කාල සීමාව සඳහා අතුරු සම්මත ගිණුමක් පසුගිය දෙසැම්බර් 21 වැනිදින පාර්ලිමේන්තුවේ දී සම්මත කරගනු ලැබිණ.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (02) පැවති කැබිනට් රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජනවාරි 2019 12:21

    Latest News