නාවික හමුදා දෙවැනි දිය යට කෞතුකාගාරය විවෘත කෙරේ (වීඩියෝ)

ජූලි 11, 2020
  • ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ දෙවැනි දියයට කෞතුකාගාරය ඊයේ විවෘත කෙරිණ.

    ඒ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අතින්. ත්‍රිකුණාමලය, සෑන්ඩ් බේ මුහුදු තීරයේ කෞතුකාගාරය ඉදි කෙරිණ. සංචාරක ආකර්ශනය දිනාගත් සෑන්ඩ් බේ වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් කෞතුකාගාරය ඉදි කෙරුණේ නාවික හමුදාපතිවරයාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ.

    දියයට ස්ථාපනය කර ඇති සියලු නිර්මාණ නාවික හමුදා සෙබළුන් අතින් නිර්මාණය වූ අතර, ත්‍රිකුණාමලය සිමෙන්ති සමාගම ඊට අනුග්‍රහය ලබා දුන්නේය. කිමිදුම් විශේෂඥයෙකු වන නාවික හමුදාපතිවරයා දියයට දී පීත්ත පටිය කපා කෞතුකාගාරය විවෘත කරනු ලැබීය. මුහුදේ අඩි 60ක් පමණ ගැඹුරින් පිහිටි කෞතුකාගාර ප්‍රදේශය අඩි 150ක දිගකින් හා අඩි 85ක පමණ පළලකින් යුතුව පිහිටා තිබේ. කිමිදුම්කරණ ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් නිරීක්‍ෂණය වන පරිදි කෞතුකාගාරය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

    මෙමගින් කොරල්පර නැවත වර්ධනය කරගැනීම සහ මත්ස්‍ය සම්පත අභිජනනය කර ගැනීම අපේක්‍ෂා කෙරේ. ඉතා නුදුරු කාලයක දී සංචාරකයින් හට මෙම ප්‍රදේශයේ කිමිදුම් කටයුතු කිරීමට අවසර හිමිවනු ඇත. මෙවැනි දියයට කෞතුකාගාරයක් තංගල්ල ප්‍රදේශයේ ද ඉදිකිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

    Last modified on සෙනසුරාදා, 11 ජූලි 2020 19:46

    Latest News