ඇවන් ගාඩ් නඩුවේ ප්‍රතිශෝධන පෙත්සම් සලකා බැලීම ඇරඹේ

ජූලි 08, 2020

    විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීම අත්හිටුවන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම අද (08) අභියාචනාධිකරණය හමුවේ ආරම්භ විය.

    පාලිත ප්‍රනාන්දු සහ නිශ්ශංක යාපා සේනාධිපති යන මහත්වරු විසින් ගොනු කරන ලද පෙත්සම අද කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණය හමුවේ සලකා බැලිණ.

    පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇවන් ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට සහ එම අල්ලස් මුදල ලබා ගත් බවට චෝදනා කරමින් මොවුන් දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙන බව සඳහන් කළේය.

    එම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගෙන් ලිඛිත අනුමැතිය හිමි වී නොමැති බැවින් එම නඩුව පවත්වාගෙන යා නොහැකි බවට පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු විසින් මූලික විරෝධතාවක් මතු කළත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට එම නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණය විසින් තීන්දු කිරීම නීති විරෝධී බව ඔහු පෙන්වා දුන්නේය.

    දේශපාලන අරමුණක් පදනම් කරගෙන තම සේවාදායකයින් එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇතැයි චෝදනා කර සිටි නීතිඥවරයා මෙම නඩුව සම්බන්ධයෙන් මතුකළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණය විසින් දුන් තීන්දුව නීති විරෝධී යැයි ද පැවසීය.

    ඉන් අනතුරුව වැඩිදුර විමසීම ලබන 17 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

    Latest News