මෙගාපොලිස් රු. ට්‍රිලියන 5ක ආයෝජන සූදානමක්

ජන 01, 2019

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඉදිරිවසර 10 තුළ රුපියල් ට්‍රිලියන 05 ක් වටිනා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ.

    මෙරට ආර්ථිකයට විශාල බලපෑමක් කළ හැකි ව්‍යාපෘති ගණනාවක් මේ වන විට ආරම්භ කර ඇති බවත් අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියේය. ඔහු මේ බව කියා සිටියේ 2019 වර්ෂයේ රාජකාරී ආරම්භ කිරිමේ රාජ්‍ය ප්‍රතිඥාව ලබාදෙමින්.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා - "2019 මෙරට අනාගතයේ හැරවුම් ලක්‍ෂයක් නිර්මාණය කරන වසරක් හැටියට දේශපාලන වශයෙන් පෙනී යනවා. ඊළඟ වසර 10 තුළ මෙම අමාත්‍යාංශය උරදී තිබෙන ව්‍යාපෘතිවල වටිනාකම ට්‍රිලියන 5ක් වෙනවා. ආර්ථිකයට කරන බලපෑම පැත්තෙන් ගත්තහම විශාලතම ව්‍යාපෘති රැසක් අපි සාර්ථකව ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. ඒ වගේම අපි මේ වසරේදී බලාපොරොත්තු වෙනවා කුඩා ව්‍යාපෘති පිළිබඳව වැඩිපුර අවධානය යොමුකරන්න. අපි ජනතාවගේ සුළු පාරිමාණ නාගරික අවශ්‍යතා දෙසට වැඩි අවධානයක් යොමුකර ක්‍රියා කරනවා. මේ වසරේ දේශපාලනයේ කවර හැල හැප්පීමත් තිබුණත්, ජනතාව වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් වූ මේ සංවර්ධනය ඉදිරියට යායුතු වෙනවා.

    අපේ අමාත්‍යාංශය 2015 සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන විට හිස් කඩදාසියක තිබුණේ. වරාය නගර ව්‍යාපෘතිය නතර කරන්න කියලා වාර්තාවක් 2015 නව රජයෙන් ලබාදුන්නා. ඒ අවස්ථාවෙදි තමයි වරාය නගර ව්‍යාපෘතිය අපේ අමාත්‍යාංශය යටතට ගෙන නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කර දියත් කළේ. අද ඒ ව්‍යාපෘතිය ජීවමාන වෙලා තිබෙනවා. රටේ අද සිදුවන විශාලතම පෞද්ගලික ආයෝජනය වන අතර කිසිම දූෂණයක් පිළිබඳ හඬක් එහි ඇසී නැහැ.

    මේ රටේ අද වරාය නගරයෙන් පසුව පෞද්ගලික ක්‍ෂෙත්‍රයේ සිදුවන විශාලතම ආයෝජනය දුම්රිය සේවයේ සැහැල්ලු දුම්රිය පද්ධති පිළිබඳ ව්‍යාපෘතියයි. අපි සතුටු වෙනවා වසර 2 ක් ඇතුළත මේ මහ පොළවේ එය ක්‍රියාත්මක කරන්න හැකිවීම ගැන.

    මේ රටේ කසළ කලමණාකරණය පිළිබඳව මහා අර්බුදයක් මීතොටමුල්ල සිද්ධියත් සමග ඇති වුණා. පළාත් සභාව, පළාත් පාලන අමාත්‍යාංශය, වගේම අදාල නගර සභා සියල්ලම අසාර්ථක උනා. මේ රටේ මා දන්න තරමින් 1996 සිට කරන්න බැරි වූ දේ මේ මහපොළවේ අපි දැන් ඉෂ්ට කර තිබෙනවා. ඊ ළඟට අපි තාක්ෂණ නගරයක් ඇති කිරීමට කටයුතු කළා. මේ පාර උසස් පෙළ ප්‍රතිඵළ දැක්ක නම් පේනවා තාක්ෂණ විෂය ධාරාවේ ළමයින්ගෙන් 2/3 ක් විභාගය පාස්. ඒකයි අපි තාක්ෂණ නගරය ස්ථාපිත කළේ. ඒ තාක්ෂණ නගරය තමයි මේ රටේ අනාගතය ඉදිරියට ගෙන යන තැන. ඒ සඳහා අවශ්‍ය කරන මුල් වට පිටාව අපි සම්පූර්ණයෙන්ම වගේ සකස් කර තිබෙනවා.

    පරිපාලන නගරය පිළිබඳව කතා කරනවා නම් ඒ ගැන නාගරික සංවර්ධන අධිකාරියටත්, අදාල අයටත් ස්තූතිවන්ත විය යුතුයි. මොකද අපේ අරමුදල් වලින් අපි එය දියත් කර තිබෙනවා.

    ඒ වගේම තවත් අතිවිශාල ව්‍යාපෘතියක් තමයි රුපියල් බිලියන 250 කට වැඩි ව්‍යාපෘතියක් වන පැල්පත්වාසීන්ට නිවාස ලබාදෙන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය. අපි බලාපොරොත්තු වෙනවා ආසියානු බැංකුවෙන් ආධාර ලබාගෙන තිරසර ව්‍යාපෘතියක් බවට පත් කරන්න. මේ රටේ ඉතිහාසයේ රජයක් ඍජුව හා වක්‍රව මැදිහත්වෙලා සිදු කරන විශාලතම නිවාස ව්‍යාපෘතිය මෙයයි. රුපියල් බිලියන 250 කින් නව නිවාස 50,000ක් ඇති කරන්න. ඒ වගේම අපි මධ්‍යම පන්තිය සඳහාත් නිවාස 5,000 ක් ඉදිකරන්න නාගරික සංවර්ධන අධිකාරියෙන් උරදී කටයුතු කලා.

    ඒ වගේම මේ රටේ හොඳට වියදම් කරන අමාත්‍යාංශ හුඟක් ජනප්‍රියයි. නමුත් අපේ ආයතන දෙකම, නාගරික සංවර්ධන අධිකාරියත්, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවත් ලාභ ලබන ආයතන බවට අපි පත් කළා. ආණ්ඩුවේ භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැති තත්වයට අපි පත් කළා. ඒ වගේම ප්‍රකෝටි ගණන් ධනය ආයෝජනය කරන තත්වයට අපි පත් කළා. 2015 දී බිලියන 39 ක ණය බරක තිබූ නාගරික සංවර්ධන අධිකාරිය 2018 වන විට බිලියන 23 ක් ආයෝජනය කරන්න පුළුවන් ආයතනයක් බවට අපි පත් කළේ යැයි“ ඔහු කියා සිටියේය.

    Last modified on අඟහරුවාදා, 01 ජනවාරි 2019 19:29

    Latest News