උතුරේ හානියට පත් කුඹුරුවලට වන්දි

දෙසැ 31, 2018

    පසුගිය දිනවල මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට බලපෑ ගංවතුර තත්ත්වය නිසා හානියට පත් කුඹුරුවලට වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතාට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති අතර වගා හානි සිදු වූ කුඹුරු පිළිබඳව තොරතුරු ලබා ගන්නා ලෙසටත් , එම කුඹුරු සඳහා ගොවීන්ට කෘෂි රක්ෂණ වන්දි ලබා දීමට පියවර ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබීය.

    ඒ අනුව ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වගා හානියකදී වන්දි මුදල් ලබා දෙන ක්‍රමවේදය අනුව ගංවතුරකදී කුඹුරුවල වී වගාවට හානියක් සිදු වී ඇත්නම් අක්කරයකට රු.40,000 /= බැඟින් හෙක්ටෙයාර එකකට රු.100,000/= මුදලක් වන්දි මුදල් වශයෙන්  ලබා දීමට පියවර ගැනේ.එමෙන්ම මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල වී වගාවට හානි සිදු වී තිබේ නම් සහ නැවත එම කුඹුරු අස්වැද්දීමට ගොවීන් කටයුතු කරන්නේ නම් බිත්තර වී මිලදී ගැනීම සඳහා 50%ක සහනාධාරයක් සහ ඊට අදාළව පොහොර සහනාධාරය ද ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

    නමුත් දැනට ලැබී ඇති තොරතුරු අනුව කුඹුරුවල තවමත් පැළගොයම නිසා ගංවතුර නිසා බරපතල හානියක් සිදු වී නැති බවයි. නමුත් කුඹුරු වලට මඩ හෝ වැලි එකතු වීම නිසා වගාහානි සිදුවී ඇත්නම් ගොවීන්ගේ අභිමතය පරිදි රක්ෂණ වන්දි මුදලක් හෝ නැවත වගා කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම්ව සිටී

    Latest News