මැතිවරණය පිළිබඳ සාකච්ඡා අද සහ හෙට

ජූනි 20, 2020

    මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීම සහ ඡන්ද විමසීම් නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී අද (20) සහ හෙට (21) පැවැත්වීමට නියමිතව තිබේ.

    කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කුරුණෑගල, මොණරාගල, දඹුල්ල, මාතලේ යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අද දිනයේ එක් සාකච්ඡා වටයක් පැවැත්වෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසීය.

    ඒ සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන්, මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන්, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් සහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහභාගීවීමට නියමිතයි.

    හෙට දිනයේදී මහනුවර, නුවරඑළිය, බදුල්ල යන දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ සහ ඡන්ද විමසීම් නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා පැවැත්වේ.

    මේ අතර, මහ මැතිවරණ කාල සීමාව තුළදී දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා ගුවන් කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ වැඩසටහනක් අද (20) පැවැත්වේ.

    මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂවල නියෝජිතයින් අතර වන එම සාකච්ඡාව බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වීමට නියමිතය.

     

    Latest News