නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු 3කගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

ජූනි 16, 2020

    තමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් නිෂ්ප්‍රභ කර තමන්ව සියලු චෝදනාවලින් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක් ජූලි මස 8 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 8 වනදා කැඳවන ලෙසයි.

    ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට සහ එම අල්ලස් මුදල ලබා ගත් බවට චෝදනා කරමින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

    එම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමට කොමසාරිස්වරු තුන්දෙනාගෙන් ලිඛිත අනුමැතිය හිමිවී නොමැති බැවින් එම නඩුව පවත්වාගෙන යා නොහැකි බවට තම නීතිඥවරු විසින් මූලික විරෝධතාවක් මතු කළත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට එම නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණය විසින් තීන්දු කිරීම නීති විරෝධී බවයි ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කරන නිශ්ශංක යාපා සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු යන මහත්වරු අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ.

    ඒ අනුව සිය මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණය විසින් දුන් තීන්දුව නීති විරෝධී යැයි තීරණය කර තමන්ව සියලු චෝදනාවලින් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන් සිය ප්‍රතිශෝධන පෙත්සම තුළින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News