පංති කාමරයකට සිසුන් 25යි

ජූනි 14, 2020

    අදියර 4ක් යටතේ යළි විවෘත කිරීමට නියමිත පාසල් යළි ආරම්භ කිරීමෙන් පසු එක් පංති කාමරයක සිසුන් 25 දෙනෙකු බැගින් යොදවා අධ්‍යයන කටයුතු සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

    සමස්ත පාසල් අතරින් පංති කාමරයක ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි අගයක පවතින පාසල් දහසක පමණක් මෙම ක්‍රමවේදය අනුගමනය කිරීමට උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර මහතා පැවසීය.

    ඒ අනුව, ළමුන් පාසල් වෙත කැඳවීම ලබන මස 06 වන දින සිට ආරම්භ කිරීමට නියමිත අතර එහිදී 5, 11 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් පාසල් වෙත කැඳවීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

    පාසල් ආරම්භ කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග හා උපදෙස් මේ වනවිට අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමුකර ඇති බව අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර මහතා සඳහන් කළේය.

    මේ අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් විවෘත කිරිමේ දී ඊට අදාළ පහසුකම් සපුරා ගැනීමට ගුරුවරුන්ගෙන් මුදල් එකතු කිරිම් පිළිබද තොරතුරු වාර්තා වන බව ගුරු සංගම් චෝදනා කරයි.

    අදාළ චෝදනාව සම්බන්ධයෙන් අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර මහතාගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ අවශ්‍ය සියලු මුල්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන අමාත්‍යශ්‍ය විසින් සපයා ඇති බවත්, එවැනි මුදල් එක් රැස් කිරීම් සඳහා කටයුතු කරන විදුහල්පතිවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

    Latest News