සුනිල් ජයවර්ධන මහතා ඝාතනය; සැකකරුවන් ලබන 25 දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට

ජූනි 11, 2020

    ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් 08 දෙනා ලබන 25 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    ඒ අද ඔවුන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව.

    නුගේගොඩ, මිරිහාන, පරණ කොට්ටාව පාරේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් ඉදිරිපිටදී මෙම පහරදීම සිදුවී ඇතැයි, මිරිහාන පොලිසිය පවසයි. කල්බදු වාරික ගෙවීමට අපොහොසත් වූ හිතවතෙකුගේ ත්‍රීරෝද රථයක් අදාළ මූල්‍ය ආයතනයෙන් රැගෙන යාම සම්බන්ධයෙන් විමසීමට ගිය අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇති බව මුලික පරීක්‍ෂණවලින් හෙලිව තිබේ. පහරදීම සිදුවූයේ ඊයේ සවස 5.40ට පමණ.

    පහරදීමෙන් පසු මූල්‍ය ආයතනය ඉදිරිපිට වැටී සිටි සුනිල් ජයවර්ධන මහතාට එහි සිටි පිරිස අතරින් අයෙකු මුගුරකින් පහර දී තිබේ. තුවාල ලැබූ සුනිල් ජයවර්ධන මහතා කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගියේය. 53 හැවිරිදි ඔහු කැස්බෑව, තානායම පාරේ පදිංචිකරුවෙක්. සුනිල් ජයවර්ධන මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා ස්වාධින කණ්ඩායමකින් තරග කරන අපේක්‍ෂකයෙක්.

    Latest News