කොවිඩ්-19 පසු සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට

ජූනි 11, 2020

    කොවිඩ් 19 වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට පත් කිරීම සඳහා වූ සහන වැඩසටහනකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින්. මේ යටතේ, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක හෝටල්, ගමනාන්ත කළමණාකරණ සමාගම්, සංචාරක නියෝජිතයන්ගේ කාර්ය මණ්ඩලවලට මසකට රුපියල් විසි දහස බැගින් වැටුප් ගෙවීමට ණය පහසුකම් සලසා දී තිබේ. ඒ මාස 6ක කාලයක් සඳහා. 4%ක සහන පොලියක් ද සමඟ වසර 5ක කාලසීමාවක් ආපසු ගෙවීමේ පහසුකම් ද හිමිවේ. ඊට සම්බන්ධ වෙනත් ආයතනවල සේවකයන්ට මසකට රුපියල් 15ස් දහස බැගින් මාස 6ක කාලයක් වැටුප් ගෙවීමට ද ණය පහසුකම් සැපයේ. සංචාරක මඟ පෙන්වන්නෙකුට එක් වරක් පමණක් ගෙවන රුපියල් 20,000ක දීමනාවක් පිරිනැමේ. එසේම, සංචාරක රියැදුරෙකුට රුපියල් 15,000ක දීමනාවක් ගෙවීමට නියමිතයි.

    විදුලි හා ජල බිල්පත් සමාන වාරික 12කින් ගෙවීමට පහසුකම් සැලසේ. එම කාලසීමාවේදී විදුලි හෝ ජල සැපයුම් විසන්ධි නොකිරීමට ද තීරණය කර තිබේ. සංචාරක වාහන කල්බදු සහනය මාස 12ක් දක්වා දීර්ඝ කෙරේ. ඊට ප්‍රමාද ගාස්තු අය කිරීමක් සිදු නොකෙරේ. 

    දුර බැහැර ප්‍රදේශවල සිට රැකියා සඳහා කොළඹට පැමිණෙන මධ්‍යම පාන්තිකයින්ට කුලී පදනම මත නිවාස ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. ප්‍රධාන නගර මධ්‍යස්ථානවල සිට කිලෝමීටර 3ත්, 5ත් අතර නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    ඇප අයදුම්පත් වීඩියෝ තාක්‍ෂණය මගින් අධිකරණයේ දී සළකා බැලීමට සැලසුම් කර තිබේ. රටේ පවතින තත්වය සහ පසුගිය කාලයේ රිමාන්ඩ් රැඳවියන් ප්‍රවාහනය කිරීමේදී සිදුවන ප්‍රහාර සැලකිල්ලට ගෙන පළමු අදියර යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අධිකරණ ශාලා 23ක සහ බන්ධනාගාර 4ක ස්ථාන 12ක යෝජිත වැඩසටහන ක්‍රියාත්මකයි. ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. යෝජනාව ඉදිරිපත් කලේ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්.

    හෙටට යෙදෙන ලෝක ශ්‍රම විරෝධි දිනයට සමගාමීව සේවකයින් සේවයේ යෙදවිය හැකි අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් කම්කරු අණපනත් සංශෝධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන්ට මාසිකව ලබාදෙන රුපියල් පන් දහසේ ජීවනාධාරය පොරොත්තු ලේඛනවල සිටින වකුගඩු රෝගීන් 13,849 දෙනෙකුට ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය.

    කොරෝනා වසංගතය හමුවේ දුරස්ථ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට මහපොළ ශිෂ්‍යාධාර අඛණ්ඩව ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ශ්‍රී ලංකා කුකුළු පාලන සංවර්ධන පෞද්ගලික සමාගම විසුරුවා හැර ඒ යටතේ පවත්වාගෙන යන මාවත්ත ගොවිපල හා එහි කාර්ය මණ්ඩලය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. එය, අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ යෝජනාවකි.

    ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව රුපියල් මිලියන 50ක් දක්වා වන භාණ්ඩ උපකරණ හෝ යන්ත්‍ර වාණිජ විවිධ නීතිගත සංස්ථාවෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ. එම ක්‍රමවේදය වර්ෂයක කාලයක් සඳහා තවදුරටත් පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණය සඳහා “අලියාන්ස්“ ඉන්ෂුවරන්ස් ආයතනය සමඟ පැවති ගිවිසුම පසුගිය මැයි 31 වැනි දින අවසන් විය. රක්‍ෂණ ආයතනයක් තෝරා ගන්නා තෙක් මාස 3ක කාලයක් සඳහා ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව මගින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. යෝජනාව ඉදිරිපත් කළේ, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතායි.

    පාසල් නිල ඇඳුම් රෙදි කර්මාන්ත හා සැපයුම් කළමණාකරන අමාත්‍යාංශයේ ලියාපදිංචි දේශීය රෙදිපිළි නිෂ්පාදකයින්ගෙන් මිලදී ගැනීමට අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන්නේය.

    අනුරාධපුරය මිරිසවැටිය මහ විහාරය ආසන්නයේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 2යි, පර්චස් 22ක ඉඩම බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයට වෙන්කර දීමට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන යටතේ ප්‍රතිලාභීන්ට ලබාදෙන ණය සීමාව වැඩිකිරීම සහ කෘෂි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගැලපුම් ණය පහසුකම් ලබාදීම සඳහා ද අමාත්‍ය මණ්ඩලඅනුමැතිය හිමිවිය.

    දක්‍ෂිණ අධිවේගයේ බැදිගම ප්‍රදේශයේ අන්තර් හුවමාරුවක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. එය, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ යෝජනාවක්.

    සුවපහසුව ගමන් කළ හැකි මගී බස් රථ ආනයනයට නිර්ණායක සකස් කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව සළකා බලා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අමාත්‍යවරුන්ගෙන් සමන්විත අනු කාරක සභාවක් පත්කර තිබේ.

    තැපැල් සේවා සඳහා දින 5ක සතියක් හඳුන්වා දී තිබේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ, එය මාස 3ක කාලයක් සඳහා ක්‍රියාත්මක බවයි.

    Latest News