සිරුරු ආදාහනයට එරෙහි පෙත්සම සළකා බැලීම ජුලි 13

ජූනි 08, 2020

    කොරෝනා ආසාදනය හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීම තුළින් පාරිසරික වශයෙන් අගතියක් සිදුවන බවට වු භූ විද්‍යා මහාචාර්යවරයෙකු විසින් අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

    එම මරණ භූමදානය කිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බව සඳහන් කරමින් කොරෝනා ආසාදනයෙන් මිය ගිය පුද්ගලයෙකුගේ පුත්‍රයෙකු ඇතුළු දොළොස් දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද , සිසිර ද ආබෲ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීය.

    එහිදී භූ විද්‍යා මහාචාර්යවරයකු වන මෙත්තිකා විතානගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ වාර්තාවක් ඉදිරිපත් කරමින් කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම තුළින් භූගත ජලය සහ පසට එම වෛරසය එක්වීමක් සිදුවන බවට තම සේවාදායකයා විසින් කරුණු ඉදිරිපත් කර ඇති බවයි.

    කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම සලකා බැලීම ජූලි මස 13 වැනි දින සිදු කරන බව නියම කළේය.

    සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් කොරෝනා ආසාදනය හේතුවෙන් මිය යන පුද්ගලයින් ආදාහනය කළ යුතු බවට රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ලෙසටත් පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News