සේනාට නොදෙවැනි තවත් දළඹුවෙක්

දෙසැ 29, 2018

    සේනා දළඹුවාට නොදෙවැනි තවත් දළඹු විශේෂයක් අනුරාධපුර, මහකනදරාව, දොළහඇල ගම්මානයෙන් වාර්තා වී ඇත.


    එම ගම්මානය අසළ මංසන්ධියේ වූ බෝගස දළඹුවා ආක්‍රමණය කර ඇති අතර, සති දෙකක් ඇතුළත ගසෙහි කොළ සියල්ල ආහාරයට ගෙන ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
    මෙම දළඹුවා කොළ පැහැති වර්ණයෙන් යුක්ත අතර, ඔවුන්ගේ මළපහවලින් තවත් වර්ගයක කළුපාට දළඹුවෙකු බිහිවන බවයි, ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. කෘමිනාශකවලින් පවා දළඹුවා මර්දනය කළ නොහැකි බව ඔවුන් පවසයි. දළඹු උවදුර සිය වගාවන්ට ව්‍යාප්ත වීමට පෙර මර්දනය කිරීමට අවශ්‍ය කටයුතු කරදෙන ලෙසයි, ප්‍රදේශයේ ගොවි ජනතාව බලධාරීන්ගේන ඉල්ලා සිටින්නේ.

    සේනා දළඹු ව්‍යාප්තිය පාලනයට හා මර්දනයට කඩිනම් පියවර ගැනේ.

    ඒ සඳහා විද්වතුන් ඇතුළු අදාළ අංශවල සහය ලබා ගැනීමට නියමිතයි. මහවැලි සී කලාපයේ පැතිර යමින් පවතින සේනා දළඹුවාගෙන් සිදුවන හානිය මේ වන විට උග්‍ර වී තිබේ. දැනට හෙක්ටයාර 1200කට ආසන්න බඩඉරිඟු වගාවන්ට හානි සිදුව ඇති බව, වාර්තා වේ. අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මොණරාගල ආදී දිස්ත්‍රික්කයන්හි බඩඉරිඟු වගාවට ද හානි සිදුව ඇත. මෙම ආගන්තුක දළඹුවා උක්, වී, එළවළු, පළතුරු, රනිල බෝග ඇතුළු බෝග වර්ග 100කට පමණ හානි කරන බව වාර්තා වී තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යාංශය දළඹු උවදුරට මුහුණ දීම සඳහා කාර්ය සාධන බලකායක් ද පත් කර තිබේ. කෘමිනාශක වර්ග 4ක් නිර්දේශ කර ඇති අතර, ඒ සඳහා 50%ක සහනාධාරයක් ලබා දීමට ද පියවර ගෙන ඇත.

    Latest News