හඳපානේ අගමැති නීත්‍යානුකුලව ගෙදර යයි - හැරිසන්

දෙසැ 28, 2018

    ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය නැවත ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට සියලු නිලධාරීන් කැපවීමෙන් කටයුතු කළ යුතු යැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර ජලජ සම්පත් සංවර්ධනඅමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

     ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලේදී සුවිශේෂී කාර්යභාරයක් ජාතික පශු සම්පත් සංවර්ධනය මණ්ඩලයට පැවරී තිබේ. දක්ෂ කලමනාකරණ මණ්ඩලයක් පත් කිරීම මඟින් ඵම මණ්ඩලය නැවතත් ලාභ ලබන ආයතනයක් බවට පත් කිරිමට පියවර ගන්නා බව ඔහු කියා සිටියේය.

    අද (28) දින පෙරවරුවේ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව සාකච්ඡාවක එක්වෙමින් පි. හැරිසන් මහතා මෙම අදහස් පල කළේය. මෙම අවස්ථාවට අමාත්යද වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    අමාත්‍ය පී. හැරිසන් -“ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා අප වෙත විශාල වගකීමක් පැවරී තිබෙනවා. කිරි නිෂ්පාදනයේ යෙදෙන ගොවීන්ගේ කිරි ටිකවත් විධිමත් පරිදි මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක නොවුණ බව මම දන්නවා. කිරි ගොවීන් සමහර අවස්ථාවල ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න ගැටළු මට පවසා තිබෙනවා. මම ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී ක්‍රියාත්මක කළ වැඩසටහන් නිසා පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් වුණා. ඵහි සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය සිරිල් මහතා කැපවීමෙන් තම රාජකාරිය ඉටු කළ නිලධාරියෙක්. එතුමා යටතේ ගොවීන්ගෙන් කිරි මිලදී ගැනීමේ වැඩපිළිවෙල සාර්ථකව ඉටු වුණා.

    මම බලාපොරොත්තු වෙනවා මෙම අමාත්‍යංශයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට. මම දන්නවා සමහරු අපේ කකුලෙන් අදින්න පුළුවන්. මම කියන්නේ අපිත් ඵක්ක වැඩ කරන අයට අපිත් එක්ක වැඩ කළ හැකියි. නැත්නම් ඵහෙම බැරි අයට ඉවත්ව යන්න පුළුවන්. නමුත් මම දන්නවා මේ අමාත්‍යංශයේ විශාල පිරිසක් ඉන්නවා අවංකව වැඩ කරන අය.

    පසුගිය දින52ක කාලය අපේ රටේ පැවති අඳුරු දේශපාලන යුගය දැන් අවසන්. හඳපානේ හොරෙන් අගමැතිකම ගත්ත මහින්ද රාජපක්ෂ මහතා අපි නීත්‍යානුකූලව ඉවත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව මම දකින්නේ හුණුවටයේ කථාවේ එන තේමා පාඨයට සමානවයි.“දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු”කියමන තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අගමැතිකම ලැබිය යුතු නිවැරදිම සුදුස්සා වන රනිල් වික්‍රමසිංහ මහතාට එය ලබා දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය හා අපක්ෂපාතීත්වය නිසා රටේ ගෞරවය ආරක්ෂා වුණා. නැවතත් ලෝකය තුළ අපේ රට කෙරෙහි විශ්වාසය ඉහළ ගිය නිසා නැවතත් සංචාරක කර්මාන්තය ඇතුළු අංශ ගණනාවක් ගොඩ නැගෙමින් පැවතීම අපේ රජය මෙන්ම ජනතාව ද ලැබූ ජයග්‍රාහණයක්“ යැයි ද අමාත්‍යවරයා කීය.

    Latest News