සියෝන් දේවස්ථානයේ බෝම්බකරු, ප්‍රහාරයට දින 2කට පෙර ඇවිත්

මැයි 31, 2020

     පාස්කු 21 වැනි ඉරුදින මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් නසාර් ප්‍රහාරයට දින දෙකකට පෙර එනම්, මහ සිකුරාදා දිනයේ දී දේවස්ථානයට පැමිණ ඇතැයි, පාස්කු ප්‍රහාරය පිලිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ ප්‍රකාශ කෙරිණ.

    එමෙන්ම, ප්‍රහාරයෙන් පසු අද දිනය දක්වා සිය දේවස්ථානය අලුත්වැඩියා කිරීමට කිසිදු වන්දි මුදලක් ප්‍රදානය කර නැතැයි, කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් දේවස්ථානය භාරව ක්‍රියා කළ දේවගැතිතුමා සඳහන් කළේය.

    ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ සාක්‍ෂි ලබාදුන්නේ, මඩකලපුව සියෝන් දේවස්ථානයේ ගනේෂමූර්ති තිරුකුමාර් දේවගැතිතුමායි. කොමිසම සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේ, ඔබ දේවස්ථාන කාර්යාලයේ සිටියදී නාඳුනන පුද්ගලයෙකු පාස්කු ප්‍රහාරය සිදු කළ දින පැමිණියේ ද යන්නයි. ඊට පිලිතුරු දෙමින් සාක්‍ෂි ලබාදුන්, ගනේෂමූර්ති තිරුකුමාර් දේවගැතිතුමා කියා සිටියේ, යම් පුද්ගලයෙකු පැමිණ සිටි අතර, ඔහුගෙන් තොරතුරු විමසීමේදී නම “උමර්“ ලෙස ප්‍රකාශ කළ බවයි. පැමිණියේ කුමන කාර්යයකට ද යන්න ඔහුගෙන් විමසූ විට තම මව රෝගී තත්වයකින් පෙළෙන බවත්, ඇයට දේව යාඥාවක් සිදු කිරීමට අවශ්‍ය බවත් සැකකරු සඳහන් කර තිබේ.

    පසුව එම සංවාදය කුමන භාෂාවකින් සිදු වූයේ ද යන්න කොමිසම සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේය. එහිදී සාක්‍ෂිකරු කියා සිටියේ බහුතරයක් මුස්ලිම්වරුන් භාවිත කරන දමිළ භාෂාවෙන් එය සිදු කළ බවයි. ඔහුගේ නම “උමර්“ ලෙස සඳහන් කළ බැවින් අදාළ පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු ලෙස දැනගත් බව ද දේවගැතිතුමා සඳහන් කළේය.

    අනතුරුව, තමන් සියෝන් දේවස්ථානයේ ශාඛාවක් වන කරවට්ටි දේවස්ථානය වෙත පිටව යෑමට අවශ්‍ය බැවින් “උමර්“ පිළිබඳ තොරතුරු දේවස්ථානයේ ස්ටැන්ලි සහෝදර දේවගැතිතුමාට ලබාගන්නා ලෙස දැනුම් දුන් බව ද සාක්‍ෂිකරු කියා සිටියේය. කොමිසම ඡායාරූපයක් පෙන්වා සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේ අදාළ පුද්ගලයා හඳුනාගත හැකි ද යන්නයි. තම ජිවිත කාලය තුළ එය අමතක නොවන බව පැවසූ සාක්‍ෂිකරු එහි සිටින්නේ “උමර්“ බවට හඳුනාගත්තේය. දේවස්ථානයෙන් පිටව ගියවිට දුරකතන ඇමතුමක් පැමිණියේ ද යන්න කොමිසම සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේය. ඊට පිලිතුරු ලබාදෙමින් සාක්‍ෂිකරු කියා සිටියේ, බෝම්බ ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ කන්‍යා සොහොයුරියකගේ පුතෙකු විසින් තමන්ට දුරකතන ඇමතුමක් ලබාදුන් බවයි. පල්ලියේ කලබලයක් ඇති වූ බව එම දුරකතන ඇමතුමෙහි සඳහන් වූ බව ප්‍රකාශ කලේය. අනතුරුව. තමන් දේවස්ථානයට යලි පැමිණි අතර එහිදී ගිනි නිවීමේ රථ පැමිණි තිබූ අතර, දේවස්ථානය තුළ ගින්නක් හටගෙන විශාල දුමක් පැතිර පැවති බව සඳහන් කෙරිණ. මිනිසුන් සීසී කඩ දුවමින් සිටි අතර, මරණයට පත් මිනිසුන් දුටු බවත් සාක්‍ෂිකරු ප්‍රකාශ කළේය.

    තමන් දේවස්ථානයට ඇතුළු වූ පසු ස්ටැන්ලි දේවගැතිතුමා හමු වූ අතර ඔහු හඬමින් සඳහන් කලේ, “උමර්“ විසින් මෙය සිදු කරනු ලැබ ඇති බවයි. පාස්කු 21 පැමිණි උමර් මීට පෙර දැක තිබෙනවා ද යන්න කොමිසම සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේය. තමන් කිසි දිනෙක ඔහු දැක නැති බවත්, උමර්ගේ හැඩහුරුකම් ඇති පුද්ගලයෙක් පෙර දිනක පැමිණි ගොස් ඇති බවට දේවස්ථානයේ පියතුමෙකු විසින් දැක ඇති බවට සැකකරනු ලැබූ බවත්, සාක්‍ෂිකරු සඳහන් කළේය.

    දේවස්ථානයට සිදුවූ අලාභය පිළිබඳව රජය මගින් වන්දි මුදලක් ලැබුණේද යන්න කොමිසම දේවගැතිතුමාගෙන් විමසා සිටියේය. සාක්‍ෂිකරු කියා සිටියේ, මෙතෙක් කිසිදු මුදලක් ලැබී නොමැති බවයි. පසුව කාදිනල් හිමිපාණන් වෙනුවෙන් නියෝජනය කරන ජනාධිපති නිතීඥවරයා ප්‍රශ්න කර සිටියේ කාදිනල්තුමා සහ කතෝලික සබාවෙන් මිලියන 10ක මුදලක් ලැබුණේ ද යන්නයි. ඒ පිළිබඳව තමන් දැනුවත් නොමැති බවත්, කාදිනල් හිමියන් තම දේවස්ථානයට පැමිණ ගොස් ඇති අතර මුදල් ලබාදීමක් පිලිබඳව නොදන්නා බවත්, සාක්‍ෂිකරු කොමිසම ඉදිරියේ සඳහන් කළේය.

    මේ අතර සියෝන් දේවස්ථානයේ පිපිරීම සිදුවන ස්ථානයේ සිටි නාගයියා ස්ටැන්ලි දේවගැතිතුමාගෙන් ද කොමිසම සාක්‍ෂි විමසීය. “උමර්“ සමඟ කුමන කතාබහක් ඇති වූයේ ද යන්න ඔහුගෙන් විමසා සිටියේය. තමන්, ඔහුට දේවස්ථානයට ගොස් සිටින ලෙස සඳහන් කළත්, එය ප්‍රතික්ෂේප කර දුරකතන ඇමතුමක් පැමිණෙන හෙයින් මෙලෙස සිටින බව ඔහු සඳහන් කර තිබේ. ඔහු ගැන සැකසිතීම හේතුවෙන් දේවස්ථානයේ සේවය කරන පුද්ගලයෙකු වූ යෝගානන්දන් හට මේ පිළිබඳව දැනුම් දුන් බව, සාක්‍ෂිකරු කියා සිටියේය. එවිට දේවස්ථාන සේවකයා පවසා ඇත්තේ, මීට පෙර දිනකදී ද ඔහු පැමිණ ඇති බවයි. ඔහු එය බරපතල ලෙස නොසලකා “රමේෂ්“ නම් දේවගැතිතුමාට “උමර්“ පිළිබඳ දැනුම් දී ඔහුගේ පෙනුම “අයි එස් අයි එස්“ නොවේදැයි සඳහන් කර තිබේ. එවිට කොමිසම විමසා සිටියේ මෙම සාකච්ජාව සිදුවන විට “උමර්“ කුමන ස්ථානයේ සිටිය යුතු ද යන්නයි.

    “උමර්“ අදාළ ස්ථානයේම සිටි අතර තමන් රමේෂ් සහෝදර දේවගැතිතුමා සමඟ සාකච්ජා කරන විට අදාළ දේවගැතිතුමා කියා සිටියේ “සුවදෙන යාඥා“ බදාදා දිනයේ පැවැත්වෙන බැවින් ඔහුට බදාදා දිනයේ පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි. පසුව උදෑසන 9.00ට පමණ දේව මෙහෙය ආරම්භ වූ අතර එම වේලාවේ දේවස්ථානය තුළ සිට “උමර්“ සිටිදැයි නිරීක්‍ෂණය කළ බව සාක්‍ෂිකරු කියා සිටියේය.

    “උමර්“ එම ස්ථානයේ නොසිටීම නිසා රමේෂ් දේවගැතිතුමා ඔහුව රැගෙන යන්නට ඇතැයි සිතූ බව සාක්‍ෂිකරු කොමිසම ඉදිරියේ ප්‍රකාශ කළේය. පසුව “රමේෂ්“ දේවගැතිතුමාගේ මිතුරෙකු වන “ශෂී“ නම් දේවගැතිතුමා දුටු අතර ඔහුගේ මුහුණේ, කැළඹුණු ස්වභාවයක් දැක්නට ලැබුණු අතර ශෂී දේවගැතිතුමා දෙස හැරෙනවාත් සමඟ බෝම්බය පුපුරවා ගිය බව සාක්‍ෂිකරු කියා සිටියේය.

    Latest News