“පළමුව ජනතාව“ ප්‍රතිපත්තිය අත් නොහරින බව, ජනාධිපති ලොවට කියයි (වීඩියෝ)

මැයි 29, 2020
  • මුහුණ දීමට ඇති දුෂ්කරතා කුමක් වුවද, “පළමුව ජනතාව“ යන ප්‍රතිපත්තිය අත් නොහරින බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ලෝක ප්‍රජාව හමුවේ අවධාරණය කළේය.

    ඊයේ සවස පැවති කොවිඩ්-19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ වීඩියෝ සම්මන්ත්‍රණය අමතමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

    රටවල් 19ක සහ ජාත්‍යන්තර සංවිධාන 08ක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සම්මන්ත්‍රණය පැවැත්විණ. එය සම්බන්ධීකරණය කළේ, නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයයි. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ, ජැමෙයිකා අග්‍රාමාත්‍ය ඇන්ඩෘෘ හොලෙස්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් ආරම්භක දේශන පැවැත්වූහ. ලොව ප්‍රධාන පෙළේ ආධාර කණ්ඩායම්වල හා නායකයන්ගේ වගකීම තමන් අතර කොන්දේසි පනවා නොගෙන සංවර්ධන හවුල්කරුවන් ලෙස ඉදිරියට යාම බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සමුළුව අමතමින් පැවසීය.

    මහා පරිමාණ, ද්වි හා බහු පාර්ශ්වික නියෝජිත ආයතනවල කඩිනම් ක්‍රියාමාර්ග වේගවත් කොට සංවර්ධනය වෙමින් පවතින රටවල හා මාධ්‍ය ආදායම් ආර්ථිකයන්හි සංවර්ධනයට දායකවිය යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. වඩා යහපත් හා ස්ථාවර ලොවක් වෙනුවෙන් පරිසරය සුරැකීම ඇතුළු මානව සංවර්ධන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට රටවල් දිරි ගැන්විය යුතුයි. හදිසි ආධාර පහසුකම් තුළින් සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් රටවලට සහය වන්නේ කෙසේදැයි, මේ කතිකාව තුළින් එකඟත්වය මතුවිය යුතු බව ද, රාජපක්‍ෂ මැතිතුමා පැවසීය. කොරෝනා වෛරසය තිරසාර වූ ව්‍යාපාර හා ආර්ථිකයන් විනාශ කරමින් අස්ථාවර තත්වයට පත්කර තිබේ.

    සැබෑ ආර්ථිකය තවදුරටත් ආදායම් හා රැකියා උත්පාදනය නොකරයි. රාජ්‍ය මූල්‍ය හිඟය පහත වැටෙමින් සිටි රටවල් පසුබෑමට ලක්ව තිබේ. ණය පරිමාව ඊට අනුරූපව ප්‍රත්‍යාවර්තනයකට ලක්ව තිබේ. අක්‍රීය වත්කම් ඉහළ ගොස් ද්‍රවශීලතා අර්බුදයකට මුහුණදීමට සිදුවීමෙන් බැංකු ක්‍ෂෙත්‍රයට පහර එල්ල වී තිබේ. සමස්ත ඉතුරුම්-ආයෝජන සමීකරණය බිඳ වැටී ඇති අතර, සංවර්ධනය සඳහා මූල්‍ය සම්පාදනය ගෝලීය ගැටලුවක් වී තිබේ.

    මෙය, රජයේ හා ව්‍යාපාරික ආයතනවල පාලනය ඉක්මවා ගිය අර්බුදයක්. බහු පාර්ශවීය හා ද්වී පාර්ශවීය නිල ණය ප්‍රදානය කරන ආයතන වෙතින් කොන්දේසි විරහිත අය-වැය සහයෝගය සහ රාජ්‍ය ණය සඳහා ණය කල් දැමීමේ වන්දි ආකාරයෙන් අන්තර්ජාතික සහයෝගය ලැබිය යුතුය. පෞද්ගලික ණය සහ ලාභාංශ වෙළෙඳපොළෙහි විශ්වාසය ඉන් තහවුරු වන බව, ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ණය දෙන රටවල්වලට සහ ආයතනවලට සංවර්ධනය වෙමින් පවතින රටවල බිඳ වැටුණු ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා අවකාශ නිර්මාණය කිරීමේ විශේෂ වගකීමක් තිබේ. ණයදීමේ සාමාන්‍ය කොන්දේසි මත තරයේ රැඳී නොසිට සැලකිය යුතු සහනයක් මගින් නව අවකාශ සැලසීමට කාලය පැමිණ ඇතැයි ද ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ලෝක නායකයන් හමුවේ අවධාරණය කළේය.

    Last modified on සිකුරාදා, 29 මැයි 2020 20:01

    Latest News