අගෝස්තු 01 සංචාරකයින්ට ගුවන් තොටුපොළ විවෘත කෙරේ

මැයි 26, 2020

    රට යථා තත්වයට පත්වෙමින් තිබීම නිසා අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව ජනාධිපතිතුමාට යෝජනා කර ඇත.

    අප්‍රේල් මස 30 වැනිදා සිට අද දක්වා කොවිඩ් ආසාදිතයෙකු සමාජයෙන් හමු නොවූ බවත් බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    සංචාරකයන් සඳහා රට විවෘත කිරීම අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන් අතර කල් ඇතිව සැලසුම් කිරීමෙන් සෙසු රටවල් අභිබවා ඉදිරියෙන් සිටීමේ හැකියාව පවතින බව ද ප්‍රකාශ කෙරිණ.

    ප්‍රමුඛතා හඳුනාගෙන සංචාරක සහ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් විමසමින් ඉදිරි පියවර ගත යුතු බවයි මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.

    පළමු අදියර යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් අභ්‍යන්තර පරිහරණය සඳහා (In house Dining) විවෘත කිරීමට තීරණය කෙරිණ.

    Latest News