ජනපතිගෙන් උතුරට පහසුකම් අඩුවක් නැතිව

දෙසැ 26, 2018

    උතුරු පළාතේ ජල ගැල්මට හසුවූ ජනතාවට අවශ්‍ය පහසුකම්, කිසිදු අඩු-පාඩුවකින් තොරව ලබාදෙන ලෙස, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත නියෝග කරයි.

    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, කිලිනොච්චි දිස්ත්‍රික්කය වෙනුවෙන් තමා සහ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඕනෑම ආපදා තත්වයකට මුහුණදීමට සූදානමින් සිටින බව, දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෛනායහම් මහතා කියා සිටී.

    කිලිනොච්චි දිස්ත්‍රික්කයේ විපතට පත් දෙදහසක පමණ පිරිසකට, සුබ සාධන කඳවුරුවල පහසුකම් සපයා තිබේ. දිස්ත්‍රික්කයේ ගංවතුර තත්වය ක්‍රමයෙන් අඩු වී ඇතත්, අද උදෑසන වනවිට තද වැසි හේතුවෙන් ජනතාව නැවතත් සුබසාධන මධ්‍යස්ථාන කරා පැමිණෙමින් සිටි බව සුන්දරම් අරුමෛයිනායහම් මහතා ප්‍රකාශ කළේය.

    කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවුල් දහ අට දහසක් පමණ පීඩාවට පත්ව සිටිති. ඒ සියලු දෙනාට පිසූ ආහාර හා අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය, සෞඛ්‍ය පහසුකම් පානීය ජලය ආදී සියල්ල සපයමින් පවතී. හානියට පත් නිවාස අලුත්වැඩියා කරගැනීම සඳහා මූලික පියවරක් ලෙස එක් පවුලකට රුපියල් දස දහසක මුදලක් පිරිනැමේ. අලාභය තක්සේරු කිරීමෙන් පසු රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් දක්වා උපරිමයකට යටත්ව මුදල් ලබාදීමට රජය තීරණය කර ඇත.

    ජල ගැල්මට ලක්වූ නිවාස වෙළෙඳ සැල්, ළිං සහ වැසිකිළි පවිත්‍ර කිරීමේ වැඩසටහන් රාජ්‍ය ආයතන ඒකාබද්ධව ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ. වී අස්වද්දා තිබූ කුඹුරු අක්කර අට දහසකට පමණ වන්දි ලබාදීමට ද තීරණය කර ඇත. එහිදී අක්කරයකට රුපියල් හතළිස් දහසක් බැගින් වන්දි පිරිනැමේ. නිවාස හානි නොවූ පුද්ගලයන් සිය නිවාසවල යළි පදිංචි කරවීමේ දී ආහාර සකසා ගැනීමට අවශ්‍ය උපකරණ සැපයීමට ද පියවර ගෙන තිබේ.

    Weewee px 900 18 12 26

     

    යුද හමුදාව ද පීඩාවට පත් ජනතාවට පිසූ ආහාර සපයමින්, ඔවුන් අවදානම් ස්ථානවලින් ඉවත් කිරීමේ හා නැවත ස්ථානගත කිරීමේ කටයුතුවල නිරතව සිටිති. ඔවුහු හානියට පත් දිස්ත්‍රික්කවල ජනතාවට වෛද්‍යාධාර සැපයීමෙ කටයුතුවල ද නිරතව සිටිති. කොට්ඨාස 57ක ගංවතුර ආපදා සහන කටයුතු සඳහා 300ත්, 400ත් අතර භට පිරිසක් යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය පවසයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාව ද සහන සැලසීමේ මෙහෙයුම් කණ්ඩායම් 6ක් අදාළ ප්‍රදේශවල යොදවා ඇත. යුද හමුදාව දැනටමත් මුලතිව් ප්‍රදේශයේ අතරමංව සිටි දහසක් පමණ ජනතාව ඉන් ගලවා ගැනීමට ක්‍රියාකර තිබේ. ගුවන් හමුදාව උවදුරු සහිත ප්‍රදේශවල සේවාවන්හි නිරත පාබල හමුදාවන්ට සහය දෙමින් සිටිති.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 දෙසැම්බර් 2018 09:03

    Latest News