විපතට පත්වූවන්ට සහන සැලසීමට පියවර

දෙසැ 26, 2018

    උතුරු පළාතට බලපෑ ජල ගැලීම් ව්‍යසනයේ දී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ක්‍ෂණිකව ක්‍රියාත්මක වීම නිසා ජිවිත හානි අවම කරගැනීමට හැකිවූ බව, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර...“මේ හදිසි ආපදා තත්වයට යටතේ හැත්තෑ පන්දහසකට අධික පිරිසක් හානියට පත්වුණා. මරණ සංඛ්‍යාව එකකට අවම කරගන්න පුලුවන්කම ලැබුණා, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය එකතුව වහාම ක්‍රියාත්මක වූ නිසා. රජය අගමැතිතුමාගේ උපදෙස් පරිදි කඳවුරුවලට අවශ්‍ය පහසුකම් පිසූ ආහාර දෙන එක ඒ වගේම අනෙක් අයට වියළි ආහාර ලබාදෙන එක දැනට කරදරයක් නැතුව කරගෙන යනවා.

    ඒ වගේම මේ අයගෙන් විශාල ප්‍රමාණයක කුඹුරු විනාශ වෙලා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාටත්, කැබිනට් මණ්ඩලයටත් නිල වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා අපි ඒ සම්බන්ධවත් අවශ්‍ය පියවර ගන්නවා. ඒ ගැන කටයුතු කරනවා. සමහර තැන්වල තමන්ගේ ආදායම හානියට පත්වෙලා තිබෙනවා. අපි ඒ ගැන රජයක් විධියට දෙන්න පුළුවන් සම්පුර්ණ සහයෝගය දෙනවා.

    සමහර ළමයින්ගේ පොත්-පත් ටික විනාශ වෙලා. ඒවටත් අවශ්‍ය ඇඳුම් සහ පොත්පත් නැවත අලුතෙන්ම ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම මහා මාර්ග විශාල ප්‍රමාණයක් හානි වෙලා තිබ්බා. ඒකටත් අපි කඩිනම් පියවර ගන්න කටයුතු කරනවා යැයි“ රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා පැවසීය.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බදාදා, 26 දෙසැම්බර් 2018 19:16

    Latest News