සහමුලින්ම විනාශ වූ ආර්ථිකයට පිබිදීමක් ඇති කළේ ජනාධිපතිතුමායි; අගමැති

මැයි 24, 2020

    2019 නොවැම්බර් 19 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට ලැබුණේ. සහමුලින්ම විනාශ වූ ආර්ථිකයක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    කොවිඩ්-19 වසංගතය හමුවේ ලෝකයම ගිලිගෙන තිබේ. 1930න් පසු ඇති වූ මහා අවපාතයට සමාන ලෝක ආර්ථික අවපාතයක් ඇති වන බව, දැන් පුරෝකථනය වී ඇතැයි අග්‍රාමාත්‍යවරයා පවසයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් අද මේ බව කියා සිටියේය. 2015ට කලින් මෙරට ආර්ථිකය සංවර්ධනාත්මක මට්මකට ළඟාවිය. 2014 දී ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් ලෙස නම් දැරීය. 2006, 2009 යුද සමයේ වසරකට 06%ක් වූ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය යුද්ධයෙන් පසු 2010,2014 කාල පරිච්ජේදයේ 7.4% දක්වා වැඩිවිය. 2005 දී දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්‍ෂව 90%ක් වූ සමස්ත ණය බර 2014 අවසන් වන විට 75% දක්වා අඩුව තිබූ බව එම නිවේදනයේ සඳහන්.

    කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය 2005දී 1,922ක් වූ අතර, 2014 අවසන් වනවිට එය 7,299 දක්වා වැඩි වී තිබිණ. 2005 දී අමෙරිකානු ඩොලර් 1,242ක් වූ ඒක පුද්ගල ආදායම 2014 අවසන් වනවිට අමෙරිකානු ඩොලර් 3,819 දක්වා තුන් ගුණයකින් වැඩි විය. නිදහස ලැබීමෙන් පසු ලංකාවේ විශාලම යටිතල පහසුකම් ඉදිකිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරුණේ ද 2006, 2014 කාල පරිච්ජේදයේ දීයි. මේ සියලුම ආර්ථික ජයග්‍රහණය අපි ලබාගත්තේ, 2007 ලෝක ආහාර අර්බුදයත්, 2008, 2009 ගෝලීය මූල්‍ය අර්බුදයත් ලෝක ඉතිහාසයේ ඉහළම තෙල් මිලත් මධ්‍යයේයි.

    2006, 2009 කාල පරිච්ජේදයේ දී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල අමෙරිකානු ඩොලර් 74ක් විය. 2010, 2014 කාල පරිච්ජේදයේ දී එය අමෙරිකානු ඩොලර් 103ක් විය. 2015 ජනවාරියේදී මේ සියල්ල කනපිට හැරිණ. එම වසරේදී ආර්ථික වර්ධන වේගය 05%ක් දක්වා පහත වැටි ඉන් පසු සෑම වසරක් පාසාම ක්‍රමානුකූලව අඩුවී 2019 වනවිට 2.3%ක් විය. රුපියලට සාපේක්‍ෂව අමෙරිකානු ඩොලරයක වටිනාකම 2014 දී රුපියල් 130ක්. එය 2019 ඔක්තෝබර් වනවිට රුපියල් 181 දක්වා වැඩි විය. රටේ සමස්ත ණය බර 2014 අවසානයේ රුපියල් ට්‍ර්ලියන 7.39යේ සිට 2019 ඔක්තෝබර් මාසය වනවිට රුපියල් ට්‍රිලියන 12.89ක් දක්වා වැඩි විය. ඒ 74.4%ක ප්‍රතිශතයකින්.

    2015 ජනවාරියේ සිට 2019 ඔක්තෝබර් දක්වා යහපාලන ආණ්ඩුව “සවරින් බොන්ඩ්“ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සින්ඩිකේටඩ් ලෝන්, කරන්සි ස්වොප් වැනි නොයෙක් මූලාශ්‍රවලින් අමෙරිකානු ඩොලර් බිලියන 26ක විදේශ විනිමය ණය ලබාගෙන තිබුණු බව, අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ ආකාරයට ණය ලබාගත්ත ද යහපාලන ආණ්ඩුව කිසිදු කල්පවතින ආදායම් ලබන වත්කමක් නිර්මාණය කළේ නැත. 2014 අවසානයේ 7,299ක් වූ කොටස් වෙළෙඳ පොලේ සමස්ත මිල දර්ශකය 2019 ඔක්තෝබර් මාසය වනවිට 5,990 දක්වා අඩුවිය.

    මෙවන් ආර්ථික බිඳ වැටීමක්සිදු වුයේ 2015 සිට 2019 දක්වා මුළු කාල පරිච්ජේදය තුළම බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල අමෙරිකානු ඩොලර් 60ක තරම් මෑත ඉතිහාසයේ පහළම අගයක පැවති අවස්ථාවකදීය. යහපාලන ආණ්ඩුව යටතේ සිදුවූ මේ දරුණු ආර්ථික බිඳ වැටීමට කිසිදු බාහිර හේතුවක් නොමැත. 2015 හා 2019 අතර ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් වේගයෙන් සංවර්ධනය විය.

    2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ලංකාවේ ආර්ථික බිඳ වැටීම තව තවත් උත්සන්න විය. කොවිඩ් 19 තත්වය හමුවේ සියලු රටවල් ආර්ථික දුෂ්කරතා හා මහා පරිමාණ විරැකියාවට පාත්‍රවන බැවින් ශ්‍රී ලාංකිකයින්ට සෞභාග්‍ය සොයා විදේශගතවීමට ඇති අවස්ථාවන් ද සීමා වනු ඇත.

    කොවිඩ් 19 නිසා සියළුම ශ්‍රී ලාංකිකයින්ට අද ඉතිරිව ඇත්තේ එක් විකල්පයක් පමණි. ඒ ශ්‍රී ලංකාව ගොඩ නැගීමයි. සිදුව ඇති විපතෙන් ගොඩවීමට අප එකාවන්ව ක්‍රියා නොකළහොත් රටේ අනාගතය අතිශයෙන්ම අඳුරු වනු ඇත. මෑතකදී රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරියා වන ජනාධිපති ලේකම්වරයා තම වැටුපෙන් හැකි ප්‍රමාණයක් පරිත්‍යාග කරන මෙන් රජයේ සේවකයන්ගෙන් ඉල්ලීමක් කළ විට විපක්‍ෂය ඔහුව නිර්දය ලෙස විවේචනය කළේය. මෙහිදී සිදුවුයේ හුදෙක්ම ස්වේච්ජා පරිත්‍යාගයක් සඳහා ඉල්ලීමක්. ඒ බව දැන දැනත් එය අනිවාර්ය වැටුප් කපා හැරීමක් හැටියට ඔවුන් හුවා දැක්විය.

    ආචාර්ය ජයසුන්දර යනු 2006, 2014 කාලයේ මේ රටේ ඇති වූ ආර්ථික පිබිදීමට දායක වූ ප්‍රධානම රාජ්‍ය නිලධාරියෙක්. එවැනි දක්‍ෂ නිලධාරීන් තනිකොට පහරදී ආණ්ඩුවේ ආර්ථික පුනර්ජීවන වැඩපිළිවෙළ අඩාල කිරීම විපක්‍ෂයේ අරමුණයි. මඩගැසීම හා බොරු ප්‍රචාර මතපදනම් වූ මේ යහපාලන දේශපාලන සංස්කෘතියට පශ්චාත් කොවිඩ් 19 රෝගය තුළ කිසිදු තැනක් නොමැති බව අපි වටහා ගත යුතුය.

    ඉදිරියට එන අසීරු ගෝලීය තත්වයන් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්ම හා දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ රට පාලනය කරන අයගේ හැකියාව මතයි. ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කල් මැතිනිය මෑතකදී පවසා සිටියේ ජර්මානු ආර්ථිකය ශක්තිමත්ව තිබුණු අවස්ථාවක කොවිඩ් 19 වසංගතය පැමිණිම නිසා ඔවුන්ට ඊට මුහුණ දීමට හැකියාව ලැබුණු බවයි.

    නමුත් ශ්‍රී ලංකාවට මෙම වසංගතයට මුහුණදීමට සිදුව ඇත්තේ, ඊට හාත්පසින්ම වෙනස් තත්වයක් යටතේයි. එබැවින් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුම මෙම කාරනා ගැන හොඳින් කල්පනා කර බලා රටට වඩාත්ම හිතකර තෝරා ගැනීම සිදු කළ යුතුය.

    කොවිඩ් 19 වසංගතය ලංකාවට බලපාන විට බලයේ සිටියේ යහපාලන කල්ලිය නම් මේ රටට යන කලදසාව ගැන අමුතුවෙන් කිව යුතු නැත. ජයග්‍රහණය කිරීමට නොහැකි යැයි කියු යුද්ධයක් දිනූ වත්මන් ජනාධිපතිතුමාගේ සිට පහළට සියලු දෙනා 2006,2014 අතර දැවැන්ත අභියෝග මධ්‍යයේ වුවත් මේ රටේ නිදහසින් පසු විශාලතම ආර්ථික පිබිදීම ඇති කළ කණ්ඩායමක් ලෙස සැලකිය හැකිය.

    කොවිඩ් 19 වසංගතයෙන් පසු ලෝකය තුළ ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වන්නේ එවන් නායකත්වයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සිය නිවේදනයේ සඳහන් කරයි.

    Latest News