සෞඛ්‍ය උපදෙස් අනුව පොසොන් උත්සවය සැමරීමට පියවර

මැයි 22, 2020

    සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයකින් රට පුරා පොසොන් උත්සව සැමරුම් පවත්වන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

    පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණවලට එළැඹිණි.

    කොවිඩ් වසංගත තත්ත්වය මේ වනවිට සෞඛ්‍ය අංශ පාලනයේ පවතින හෙයින් දුරස්ථභාවය රැකෙන අන්දමින් මෙවර පොසොන් පොහොය දින සීල ව්‍යාපාර පැවැත්වීමට ද එහිදී තීරණය විණ.

    “ආරෝග්‍යා පරමා ලාභා” තේමාව යටතේ, මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේදී පැවැත්වෙන අතර ලොවම සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ රාජ්‍ය වෙසක් උත්සවය සැමරූ “ආරෝග්‍යා පරමා ලාභා” තේමාවම රාජ්‍ය පොසොන් උත්සවය සැමරීමටද සුදුසු බව එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ අනුව මිහින්තලා පුදභූමියේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය, අටස්මස්ථාන ආශ්‍රිතව සහ සිතුල්පව්ව, මුල්කිරිගල, තිස්සමහාරාම විහාරස්ථානවල පැවැත්වෙන පොසොන් පින්කම් ද ඇතුළුව රට පුරා පැවැත්වෙන පොසොන් පිංකම් වෙනත් වර්ෂවල මෙන්ම පිරිත් දේශනා, හේවිසි පූජා, කප්රුක් පූජා සහ මාධ්‍ය ආයතනවල අනුග්‍රහය ඇතිව ආලෝක පූජා පැවැත්වීම ද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් සිදුකරේ.

    අවදානම් පිරිස් ලෙස සැලකෙන යම් යම් රෝග තත්ත්වයන් පවතින අය හා වයස්ගත පිරිස් සීල ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමෙන් වලකින ලෙසද මෙහිදී සෞඛ්‍ය අංශ අවධාරණය කළේය.

    ඒ අනුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් ලබාගනිමින්, පන්සල් අවට සීමිත පිරිසකගේ සහභාගීත්වයකින් සීල ව්‍යාපාර පැවැත්වීමට හැකියාව ලැබෙයි.

    මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ දැනුම්වත් කිරීමටද මෙහිදී තිරණය විය.

    මෙවර පෙරහැර පින්කම් අත්‍යාවශ්‍ය අංග පමණක් සහභාගි කර ගනිමින් විහාරස්ථාන භූමියට පමණක් සීමා කිරීම මඟින් ජන සහභාගීත්වය අවම කිරීමට පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අංශ දැනුම් දුන්නේය.

    Latest News