රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

මැයි 19, 2020

    රුපියල් කෝටි දෙකේ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකගෙන් ඇප ඉල්ලීම ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

    ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියෝග කළා.

    සම්පත් අභයකන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

    ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා ප්‍රකාශ කළේ මෙම විත්තිකරුට ඇප ප්‍රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බවයි.

    ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද විනිසුරු මඩුල්ල සඳහන් කළා.

    ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ වරදකරු කළ එහි දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඬුවමක් හා රුපියල් 55,000 ක දඩයක් නියම කර තිබුණි.

    එම දඬුවම තමන්ට නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එය අහෝසි කර සියලු චෝදනාවලින් තමාව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විත්තිකාර පියදාස දිසානායක මහතා විසින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

    එම අභියාචනය විභාග කොට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් වරදකරු වී සිටින පියදාස දිසානායක මහතා විසින් මෙම ඉල්ලීම ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත මීට පෙර ඉදිරිපත් කර තිබුණි.

    මේ අතර මෙම චෝදනාව සම්බන්ධයෙන් ම සිරදඬුවම් ලබා සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ. මහනාම මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඇප ඉල්ලීමට අදාළ තීන්දුව ද ජුලි මස දෙවන දා ප්‍රකාශයට පත්කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නිවේදනය කළා.

    Latest News