දුම්රියේ ගමන් කළ හැක්කේ, ලියාපදිංචි වූ මගීන්ට පමණයි

මැයි 10, 2020

    හෙට සිට ධාවනය වන කාර්යාල දුම්රියන්හි ගමන් කළ හැක්කේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයට පෙර දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ මගීන්ට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වානිජ, සමන් පොල්වත්තගේ මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍ය ‍සේවාවන් සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ ප්‍රධානීන්ගේ නිර්දේශ මත කළ ඉල්ලීම්වලට ආදාළව පළමු සතිය සඳහා ලියාපදිංචි කිරීම් සිදු කළ බවයි.

    එලෙස ලියාපදිංචි වූ මගීන්ට තමා ගමන් කළයුතු දුම්රිය, මැදිරිය සහ අංකය පිළිබඳ තොරතුරු කෙටි පණිවුඩයක් මගින් යොමු කර එම කෙටි පණිවුඩයේ තොරතුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ මගීන් දුම්රිය ස්ථාන වෙත ඇතුළත් කර ගැනීමේ සිට ගමනාන්තයට ගොස් යළි පැමිණිම දක්වා වූ ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    කෙසේ වෙතත් එලෙස අවසර හිමි නොවන කිසිදු මගියෙකුට දුම්රිය ස්ථානයට පැමිණීමට හෝ අවසර හිමි නොවනු ඇති.

    තව ද ලබන 18 වැනිදායින් ආරම්භ වන සතිය සඳහා ගමන් කළ හැක්කේ 11 වනදා සිට 13 වැනි දා දක්වා ලියාපදිංචි වන වාර ප්‍රවේශපත්‍ර හිමි අයට පමණක් බව ද ඔහු සඳහන් කළේය.

    එම සතියට ආදාළව ලියාපදිංචිය සිදුකළ යුතු ආකාරය පිළිබඳ තොරතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ www.railway.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවද නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා ප්‍රකාශ කළේය.

    මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනාගමන, ගාමිණි සෙනවිරත්න මහතා සඳහන් කළේ, හෙටින් ආරම්භ වන මෙම සතිය සඳහා කාර්යාල දුම්රිය 10 ක් යොදවා ඇති බවයි.

    එමෙන්ම මීටරයේ සීමාව පවත්වා ගනිමින් යුද හමුදාවේ සහ පොලීසියේ ආරක්ෂාව යටතේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මගී ප්‍රවාහනය සිදු කරන බව ද සෙනවිරත්න මහතා සඳහන් කළේය.

    Latest News