මාධ්‍ය වර්තා ප්‍රතික්ෂේප කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා

මැයි 04, 2020

    මැයි මස 11 වැනි දින වනවිට කොරෝනා (කොවිඩ් -19) තත්වය සමනය වේ යැයි තමන් ප්‍රකාශ කළ බවට ( 03 ) දින ඇතැම් මාධ්‍ය වාර්තා පළවී තිබුනත් තමා විසින් එබඳු ප්‍රකාශයක් සිදු නොකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    කෙසේ වෙතත් ඉදිරියේදී “ නාවික හමුදා පොකුරේ” ආසාදිතයින් වාර්තා නොවුනහොත් සහ අනපේක්ෂිත සිදුවීමක් නොවුනහොත්, ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 නව ආසාදිතයින් වාර්තාවීම අඩුවීමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකි බැවින් සුබවාදී බලාපොරොත්තු ඇති කරගත හැකි බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

    වැලිසර නාවික හමුදා කඳවුර තුළ සිටි සෙබලුන් සහ නිවාඩු ලබා ගොස් සිට නැවත ගෙන්වාගත් සෙබලුන් සියලුම දෙනා පී. සී. ආර්. පරීක්ෂණ වෙනුවෙන් සාම්පල ලබාගෙන අවසන් බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

    (2020.05.02) දිනයේ ශ්‍රී ලංකාව තුල පී. සී. ආර්. පරීක්ෂණ වාර්තාගත ප්‍රමාණයක් සිදුකර තිබේ. එනම් 1681 කි.

    මෙයින් 698 ක්ම සිදුකර තිබෙන්නේ කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වන අතර එම පරීක්ෂණ 689 න්ම ආසාදනය වී තිබෙන බව ප්‍රතිඵල අනුව පර්යේෂණාත්මකව තහවුරු වී ඇත්තේ ( COVID - 19 - Positive ) එක් පුද්ගලයෙකු පමණක් වීම විශේෂත්වයකි.

    මේ වනවිට කොවිඩ් -19 නව ආසාදිතයින් වාර්තාවීම අඩුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

    එසේම සමාජයෙන් වාර්තාවන (එනම් නාවික හමුදා සෙබලුන් හා ඔවුන්ගේ ස්පර්ශකයින් හැර) රෝගීන් සංඛ්‍යාව ඉතා සුළු අගයක් ගනී.

    මේ වන විටත් කිසිසේත්ම කිසිදු රෝහලක රෝහල් ධාරිතාවය ඉක්මවා ගොස් නැත.

    I.D.H. රෝහලේ පසුගිය දිනක සිදුවූ තාවකාලික තත්වයට හේතුව වූයේ නාවික හමුදාවේ රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින්ද රෝහල් ගත කිරීම නිසා ඇති වූවකි.

    එහෙත් එහිදීද සිදුවූයේ සමස්ත රෝහලේම ඇඳන් සංඛ්‍යාවට වඩා කොවිඩ් -19 රෝගීන් හා ආසාදිත බවට සැකකරන අය ඇතුලත්වීම නොවේ.

    වෙනත් රෝග සඳහා ද ප්‍රතිකාර ගන්නා අය වෙනුවෙන්ද රෝහලේ විශාල ඉඩක් වෙන්කර තිබේ.

    මැයි මස 11 වනදා සිට රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ වන්නේ නම් එහිදී පැවතිය යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ අදාළ ආයතන හා පුද්ගලයින් වෙත මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යොමු කර තිබේ.

    මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියෙන්ද (www.health.gov.lk) මෙම මාර්ගෝපදේශ සංග්‍රහය බා ගත(download ) කරගත හැකිය.

    සුවිශේෂී අවස්ථාවල මේවාට අනුකූලව තම ආයතනවලට ක්‍රමවේද සකස් කර ගත හැක.

    මීට අමතරව තවත් අංශ වලට අදාලව එම අංශ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිලිබඳ මාර්ගෝපදේශ ඉදිරියේදී කඩිනමින් සකස් කෙරේ.

    එම අංශවලට අදාළ වගකිවයුතු පිරිස් සමග සාකච්ජා කර ඒවා සකස් කෙරේ.

    මේ වෛරසය තව දුරටත් අප අවට ගැවසෙනු ඇති.

    කළ හැකි වන්නේ වෛරසය සමග ජීවත් වීමේ ක්‍රමය නිවැරදිව සොයා ගැනීමය.

    කෙසේ වෙතත් රට විවෘත වී එදිනෙදා කටයුතු ආරම්භ වුවද සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ඇතුලුව සෞඛ්‍ය උපදෙස් නිරන්තරව සියලු දෙනා පිළිපැදිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යළිත් අවධාරණය කරයි.

    Latest News