MR ගේ මන්ත්‍රී පට්ටම ගලවන හැටි - රාජිත කියයි

දෙසැ 23, 2018

    පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාපක්ෂ මහතා ඇතුලු මන්ත්‍රීවරුන් රැසකගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පිළිබදව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක දී අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසන බලමණ්ඩල රැස්වීමට ඊයේ (22) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මීගමුව නගර මධ්‍යයේ මෙම රැස්වීම පැවැත්විනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ජනාධිපතිවරයා ප්‍රකාශ කළා මන්ත්‍රීවරුන් 225 දෙනාම අත්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යධූරය නොදෙන බව. වෙනත් අයගේ නම් ජනාධිපතිවරයා යෝජනා කළා. නමුත් අවසානයේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යධූරය අපට ලබාදුන්නා. අපි පත් කළ ජනාධිපතිවරයාගේ තටු කපලා තියෙන්නේ. එයා පියාඹන්න හැදුවත් එයාට පියාඹන්න බැහැ. කැබිනට් මණ්ඩලය පත් කිරිම සදහා වූ අවසන් සාකච්ඡාවේ දී ද මම ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා විධායක ජනාධිපතිධුරයේ තිබෙන භයානකකම පිළිබදව. මම ජනාධිපතිධූරයට පත් වුනත් මමත් විනාශයට පත් වෙනවා. මෙය යථාර්තයක්. විධායක ජනාධිපතිධූර පුටුවේ වාඩි වුනාම අමුතු උෂ්ණයක් ගහනවා. හිටපු ජනාධිපතිවරු තමන්ට පැවැරී තිබූ බලතල භාවිතා කළත්, වත්මන් ජනාධිපතිවරයා තමන්ට නොතිබුනු බලතල තමයි භාවිතා කරන්න උත්සාහ කළේ. එයාට උපදෙස් දෙන්න ගොඩ පෙරකදෝරුවන් සිටියා.”

    “වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරුන් දෙදෙනෙක් ඉන්නවා. තවම අවසන් තීන්දුවක් නැහැ. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්නේ මන්ත්‍රීධූරයත් අහෝසි වෙයි කියලා බයෙන්. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනට පසු දින මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා. වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගෙන මාසයක් යන විට මන්ත්‍රීධූරය අහෝසි වෙනවා. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා මගින් දැනට දින දෙකකට පෙර කථානායකවරයාට ලිපියක් යොමු කරනවා මහින්ද රාජපක්ෂ මහතා තම පක්ෂයේ සාමාජිකයෙකු වන බව ප්‍රකාශ කරමින්. නමුත් මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගන්නා වූ ඡායාරූප, විඩීයෝ දර්ශන මාධ්‍යයට මුදාහැර තිබුනා. ලිපි යොමු කළා කියලා වැඩක් නැහැ. නීතිය හමුවේ එය විසදෙයි. දැන් ඒගොල්ල කියනවා එදා ලබාදුන්නේ පොදුජන පෙරමුණේ අයදුම්පත්‍ර කියලා. ඒවාට නීතිමය ආවරණයක් නැහැ. ඉදිරි තේරීම්කාරක සභාවක දී මේ පිළිබදව අවසන් තීරණයක් ගන්නා බව මගේ විශ්වාසයයි. ඒ අනුව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 50 ක් පමණ අමාරුවේ වැටෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අපට දුන් දුකට තමයි දැන් මේ වන්දි ගෙවන්නේ. මන්ත්‍රීධූරයත් නැති වුනොත් එයාට යන එන මං නැති වෙනවා.” යැයි ඔහු කියා සිටියේය.

    Latest News