ලාංකිකයින් ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් වාර 4ක්

මැයි 03, 2020

    විදෙස් රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනිම සඳහා අද (03) සිට විශේෂ ගුවන් වාර 04ක් ක්‍රියාත්මකයි.

    බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනිම මෙහිදී සිදු වන බවයි, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 503 දරන එම විශේෂ ගුවන් යානය අද (03) දින අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් තිබේ.

    මෙම ගුවන් යානය ලන්ඩන් වෙත කිසිදු ගුවන් මගියෙකු රැගෙන නොගිය අතර, ගුවන් යානා කාර්යය මණ්ඩලය පමණක් එහි ගමන් ගනිමින් සිටිති.

    මෙම ගුවන් යානය අද දින දහවල් 11.25 ට පමණ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිත අතර, හෙට (04) දින අලුයම 12.45 ට මෙම ගුවන් යානය යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතයි.

    මෙම ගුවන් ගමන සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ-330 - 343 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි. ශ්‍රී ලාංකිකයින් 250 දෙනෙකු පමණ රැගෙන එම යානය අද මධ්‍යම රාත්‍රියේ දී යළි මෙරටට පැමිණිමට නියමිතයි. හෙට සහ අනිද්දා (05) ලන්ඩන් නුවරට තවත් ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

    එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සඳහා ලබන 08 වැනිදා ද විශේෂ ගුවන් යානයක් ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේය.

    Latest News