ඇඳිරි නීතිය කඩ කළ 423ක් අත්අඩංගුවට

අප්‍රේ 25, 2020

    කොරෝනා වෛරස් ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනතා යහපත වෙනුවෙනි.

    එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇති වූ දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ 423 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වාහන 111ක් පොලිස් බාරයට ගැණින. දිවයින පුරා මේ දක්වා 36,000කට අධික පිරිසක් ඇඳිරි නීතිය නොසලකා හැර ක්‍රියා කර ඇතැයි පොලිසිය පවසයි.

    දිවයිනේ සිදු කෙරුණු මෙහෙයුම්වලදී වාහන නව දහසකට අධික සංඛ්‍යාවක් පොලිස් බාරයට ගෙන තිබේ. අධි අවදානම් කලාප සහ අනෙක් සියලු ප්‍රදේශවල, ඇඳිරි නීතිය කාල සීමාවේ එය උල්ලංඝනය කරන්නන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 11 දෙනෙකු සමඟ යතුරු පැදි 06ක් සහ ත්‍රීරෝද රථයක් කොටදෙනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මුව ආවරණ නොපැළඳ මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින්ට ද පොලිසිය දැඩිව අවවාද කළේය.

    පූගොඩ පොලිසිය ව්‍යාජ අංක තහඩු සහිතව ධාවනය කළ ලොරි රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා නිකුත් කෙරුණු ඇඳිරි නීතිය බලපත්‍රයක පිටපත් ද ප්‍රදර්ශනය කර තිබූ අතර, ශබ්ද විකාශන යන්ත්‍රයක් ද එහි සවිකර තිබිණ.

    ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ අධික ලාභ ලැබීමේ අරමුණින් ජංගම රථවලින් වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්, වටලනු ලැබුවේ ගම්පහ පාරිභෝගික සේවා අධිකාරිය විසින්. වෙළෙඳ රථ 05ක් අත්අඩංගුවට ගැණින. වැඩි මිලට භාණ්ඩ විකිණිම සහ මිල ප්‍රදර්ශනය නොකිරීමට එරෙහිව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතයි.

    ඇඳිරි නීතිය පැවැත්වෙන කාලසීමාවේ දිවයින පුරා සිටින විදේශීය සංචාරකයින් පිළිබඳ සොයා බැලීමේ වැඩසටහනක් සංචාරක සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරයි. ඒ යටතේ මිරිස්ස ප්‍රදේශයේ සංචාරකයින්ගේ සුවදුක් විමසා බැලීම අද සිදු කෙරිණ.

    Latest News