ව්‍යවස්ථාවට පිටින් කිසිදු තීරණයකට එළඹිය යුතු නෑ-ත්‍රෛනිකායික මහා සංඝරතනය (වීඩියෝ)

අප්‍රේ 25, 2020
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිභාහිරව කිසිදු තීරණයකට එළඹිය යුතු නැතැයි ත්‍රෛනායික මහා සංඝරතනය අවධාරණය කර තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

    කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කර තිබේ.

    එහිදී කොරෝනා වෛරසය පාලනය, නිරෝධායන ක්‍රියාවලිය, ජනතාවට දුන් සහන සහ ඉදිරියේ දී දේශීය ආර්ථිකය ගොඩනැඟීමට ගෙන ඇති තීරණ ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර ඇත.

    රට මුහුණ දී ඇති අභියෝග හමුවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මෙන්ම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළු සියලු පාර්ශ්වයන් දුන් සහාය අතිමහත් බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

    තමාට විශිෂ්ට ජනවරමක් දෙමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමේ දී ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව පැහැදිලි කළ ජනාධිපතිවරයා අභිනව පාර්ලිමේන්තුවක් කැඳවීම විනා පැරණි පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් ව්‍යස්ථානුකූලව නොමැති බව ද පෙන්වා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    සමස්ත මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට හිමිවන බව මෙහිදී අදහස් දැක්වූ ත්‍රෛනිකායික නායක හිමිවරු සඳහන් කර ඇත.

    පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා රට උභතෝකෝටික තත්ත්වයකට පත් නොකළ යුතු බවත්, පරණ පාර්ලිමේන්තුව නොකැඳවීම මහා සංඝරත්නයේ ඒකමතික තීරණය බවත් මහා සංඝරත්නය අවධාරණය කර තිබේ.

    පැවති පාර්ලිමේන්තුවරටේ වත්මන් මූල්‍ය අර්බුදයට වගකිවයුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පවසා ඇත.

    තවද වෛරසය මර්දනයට සහ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන යන ක්‍රියාමාර්ග දෙස අවධානය යොමු කිරීමේ දී නව චින්තනයක් රට තුළ ක්‍රියාත්මක බව දිස් වෙන බවත් එය “සෞභාග්‍යෙය් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට “සෞභාග්‍යයේ චින්තනය” මැයෙන් එකතුවිය යුතු උප නියැදියක් වශයෙන් ගතයුතු බව ත් අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන් පවසා තිබේ.

    කොරෝනා වෛරසය මර්දනයේදී ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළෙන් ලොව සෙසු රටවලට ද පාඩමක් උගත හැකි බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසා ඇත. රටේ තරුණ පරපුර සහ විවිධ කණ්ඩායම් නව නිර්මාණ රැසක් සිදුකර ඇත. එය ඉදිරි අනාගතයට මග පෙන්වන ස්වර්ණමය අවස්ථාවක් බවත්, ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට මහා සංඝරත්නය නිරන්තරයෙන් ශක්තියක් වන බවත් උන්වහන්සේ සඳහන් කර තිබේ.

    ඒ අතර මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මාතෘ භූමිය ආරක්ෂා කරගැනීමට ඉවහල් වන කරුණු 12ක් ඇතුළත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

    එමෙන්ම මෙවර වෙසක් උත්සවය විද්‍යුත් මාධ්‍ය උපයෝගී කර ගනිමින් නිවසේ සිට සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ වැදගත්කම ආචාර්ය පූජ්‍ය දිවියගහ යසස්සි සහ මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද හිමිවරු පෙන්වා දුන්හ. ඒ සඳහා කමිටුවක් පත් කිරීමට ද තීරණය කෙරිණ.

    යාචක පිරිසට ද උණු බත් කෑමට අවස්ථාව සලසමින් සියලු ජනතාවගේ කුසගින්න නිවීමට ජනාධිපතිතුමා ගත් ක්‍රියාමාර්ග මහා සංඝරත්නයේ ප්‍රශංසාවට නිතැතින්ම ලක්වන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමයන් පවසා ඇත.

    ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් මහානායක හිමිවරු සහ අනුනායක හිමිවරු ඇතුළු ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

    Last modified on සෙනසුරාදා, 25 අප්‍රේල් 2020 19:39

    Latest News