එළවලු කිලෝග්‍රෑම්‌ ලක්‍ෂ 09 කට වඩා රජය මිලදී ගෙන තිබේ (වීඩියෝ)

අප්‍රේ 13, 2020
  • ගොවි නිෂ්පාදන මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ එළවලු කිලෝග්‍රෑම්‌ ලක්‍ෂ 09 කට වැඩි ප්‍රමාණයක්‌ ඊයේ වන විට මිලදී ගෙන තිබේ.

    මිලදී ගත්‌ එළවලු ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට සියලුම දිස්තික්ක වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි, රජය පවසයි.

    වැඩසටහන කියාත්මක කරන්නේ, අත්‍යවශ්‍ය සේවා සැපයීමේ ජනාධිපති කාරය සාධක බලකායේ මැදිහත්වීමෙනි‌. සිය නිෂ්පාදන අලෙවි කර ගත නොහැකි ගොවිජනතාවට සහනයක්‌ ලබා දීම සහ අවුරුදු සමයේ හා පාස්කු සමය තුළ පාරිභෝගික ජනතාවට එළවලු සහ පළතුරු හිඟයකින්‌ තොරව බෙදා හැරීමේ අරමුණෙන්‌ මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

    සිය නිෂ්පාදන අලෙවි කරගත නොහැකි ගොවි ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණෙන් වැඩසටහන ක්‍රියාත්මකයි. පාරිභෝගික ජනතාවට එළවළු සහ පළතුරු හිඟයකින් තොරව බෙදා හැරීම එහි අරමුණයි. එළවළු මිලදී ගැනීම් පසුගිය දෙදින පුරා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරිණ. ඊට අමතරව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ද එළවළු මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ සඳහා අවශ්‍ය අරමුදල් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබ තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු කිලෝ ග්‍රෑම් තුන්ලක්‍ෂ 17,396ක් ද, දඹුල්ල සහ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානවලින් එළවළු කිලෝ ග්‍රෑම් පන් ලක්‍ෂ 86,614ක් ලැබුණු ඇණවුම් මත ප්‍රවාහනය කර තිබේ. ඒ අනුව, දිස්ත්‍රික්කවලට ප්‍රවාහනය කෙරුණු සමස්ත එළවළු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් ලක්‍ෂ 09කට අධිකවේ. ඒ සඳහා රජය වැය කළ මුදල රුපියල් දෙකෝටි 87ත් ලක්ෂයක්.

    එළවළු තොග විශාල ප්‍රමාණයක් යොමු කර ඇත්තේ, මාතර, කොළඹ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා. ඒවා පළාත් පාලන ආයතන විසින් තම බල ප්‍රදේශය තුළ සාධාරණ මිලකට අලෙවි කිරීම සිදුකරනු ලබයි. ඇතැම් ප්‍රදේශවල දානපතීන් ඉදිරිපත් වී රජයේ වියදම් පියවා ජනතාව අතර නොමිලයේ බෙදා හැරීමට කටයුතු කරන ආකාරය ද දැකගත හැකිය. අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වූ ගොවීන් ඇත්නම් ඔවුන්ට ඒ පිලිබඳ කිසිදු බියක් ඇතිකර නොගත යුතු බව අත්‍යවශ්‍ය සේවා සැපයීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි. කිසිදු ආකාරයකින් ගොවි ජනතාවගේ නිෂ්පාදන අපතේ යාමට හෝ අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව අසරණ වීමට හෝ ඉඩ නොතබන ලෙස රජය සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් දී ඇති බව ද, ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කළේය.

    Last modified on සදුදා, 13 අප්‍රේල් 2020 18:54

    Latest News