“කොරෝනා“ ඉන්දියාව දින 21ක වසා දැමීමේ නියෝග දැඩි ලෙස ක්‍රියාත්මකයි

මාර් 26, 2020

    නව ‍කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිටුදැකීමට ඉන්දියාව හඳුන්වා දුන් දින 21ක වසා දැමීමේ නියෝග දැඩි ලෙස ක්‍රියාත්මකයි.

    ඉන්දියාවේ කෝටි 130ක ජනතාව තම නිවෙස්වලට සීමාකර වෛරස් ව්‍යාප්තිය මැඩ පැවැත්වීම රජයේ අපේක්‍ෂාවයි. නිවෙස්වලින් බැහැරව මහා මාර්ගවල ගමන් කරන පිරිස සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ඉන්දීය පොලිසියට නියෝග ලැබී තිබේ. සාධාරණ හේතුවක් නොමැතිව, මහමඟට පිවිසි තරුණයන්ට පොලිස් භටයන්ගෙන් ලැබුණේ තදබල ප්‍රතිචාරයක්.

    ඇතැම් පොලිස් කණ්ඩායම්, අල්ලාගත් පිරිස්වලට පහර නොදී ශාරීරික ව්‍යායාම ඇතුලු ශාරිරික දඬුවම් ලබාදීමට ද උත්සුක වන ආකාරය දක්නට ලැබිණ. සංචරණ තහනම උල්ලංඝණය කළ ඇතැම් පුද්ගලයන්ට දඬුවමක් ලෙස මංමාවත් පිරිසිදු කිීරීමට යොදවා තිබිණ.

    ඉන්දියාවේ ප්‍රාන්ත 28 හා මධ්‍යම රජය යටතේ පාලනය වන බල ප්‍රදේශ 8 ආවරණය වන පරිදි තහනම් නියෝග ක්‍රියාත්මක වේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දින 21ක වසා දැමීමේ නියෝග ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, එම කාලය ඉවසිලිවන්තව රජයේ නියෝගවලට ජනතාව අවනත නොවුනහොත් රට වසර 21කින් ආපස්සට ගමන් කරන බවයි. ඒ අනුව රජයේ කාර්යාල හා වානිජ ආයතන වසා දමා ඇති අතර, ප්‍රවාහන සේවා නවතා දැමිණ. මේ නිසා දිළිඳු ජනතාවට දැඩි දුෂ්කරතා මතුව තිබේ.

    විවිධ ප්‍රාන්තවල සේවය කළ සංක්‍රමණික සේවකයන් ඊයේ සිට අතරමංව සිටින බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එමෙන්ම, ප්‍රාන්තයෙන්-ප්‍රාන්තයට සැපයුම් ප්‍රවාහනය කළ ලොරි රථ පිවිසුම් අවසර නොමැති වීමෙන් ඇතැම් ප්‍රාන්ත මායිම්වල කොටුවී ඇති බවට ද වාර්තා පළවේ. ඉන්දීය රජය පවසන්නේ, ජනතාවට අවශ්‍ය මුලික පහසුකම් කඩිනමින් ස්ථාපනය කිරීමට පියවර ගන්නා බවයි.

    Latest News