මැනිං වෙළෙඳ පොළේ තොග එළවළු සඳහා උපරිම මිලක් (වීඩියෝ)

මාර් 26, 2020
  • කොළඹ මැනිං වෙළෙඳ පොළේ තොග වෙළඳාම් කෙරෙන එළවළු සඳහා උපරිම මිලක් නියම කිරීමට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද තීරණය කළේය.

    ඒ, වෙළෙඳුන් කිහිප දෙනෙකු අත්තනෝමතික ආකාරයෙන් වැඩි මිලට එළවළු තොග අලෙවි කිරීම හේතුවෙන්. කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක සඳහා අඛණ්ඩව ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද රජය තීරණය කළේ, කොළඹ මැනිං වෙළෙඳ පොලේ කටයුතු සෞඛ්‍ය ආරක්‍ෂිත හා විධිමත්ව සිදු කිරීමටයි. මේ දිනවල දිවයිනේ සෑම ප්‍ර දේශයකින්ම ඉතා සාර්ථකව අස්වනු නෙලීම සිදුවේ.

    ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ, ගොවි ජනතාවගේ අස්වනු බාධාවකින් තොරව ප්‍රවාහනයට හා අලෙවියට අවස්ථාව ලබාදෙන ලෙසයි. ඒ අනුවයි, එම අස්වනු අලෙවි කිරීම සඳහා කොළඹ මැනිං වෙළෙඳ පොළ විවෘත කෙරුණේ. සවස 2.00 දක්වා තොග වෙළෙඳුන් සඳහා මිලදී ගැනීම් සිදුකළ හැකියි.

    තම වෙළෙඳාම් කටයුතු සිදු කිරීමට මෙවැනි අවස්ථාවක පවා ඉඩ ප්‍රස්තාව සලසා තිබියදී ඇතැම් කූට වෙළෙඳුන් වැඩි මිලට එළවළු තොග අලෙවි කිරීම සිදුකර තිබේ. අනතුරුව, පාරිභෝගික අධිකාරිය විසින් එම වෙළඳුන් වැටලීම සිදුකරනු ලැබීය. එම අවස්ථාවේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය.

    මේ අතරතුර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා එම ස්ථානයට පැමිණි අතර, තොග වෙළෙඳුන් සමඟ සාකච්ජාවක් පවත්වනු ලැබීය. ඉන් අනතුරුව තීරණය කෙරුණේ, හෙට සිට උපරිම මිලක් යටතේ එළවළු තොග අලෙවි කිරීමට අවසර ලබාදෙන බවයි.

    ඒ අනුව කැරට් කිලෝවක උපරිම මිල රුපියල් 150ක්. දෙහි කිලෝවක මිල රුපියල් 150කටත්, ලීක්ස් සහ බෝංචි කිලෝවක උපරිම මිල රුපියල් 120කටත් නියම කෙරිණ. බීට් කිලෝවක් රුපියල් 80කටත්, මාළුමිරිස් කිලෝවක් රුපියල් 150කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 100කටත් අලෙවි කළ යුතුය. වට්ටක්කා සහ අළු කෙසෙල් සඳහා උපරිම මිල වන්නේ රුපියල් 70ක්. රුපියල් 200ක උපරිම මිලකට යටත්ව අමුමිරිස් කිලෝවක් අලෙවි කළ යුතුය. වම්බටු, කරවිල, ලූණු කොළ කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 100ක උපරිම මිලකට යටත්වයි. පිපිඤ්ඤා, නෝකෝල් සහ ගර්කින් උපරිම මිල රුපියල් 50ක්. පතෝල රුපියල් 70කටත්, දෙහි රුපියල් 150කටත්, බණ්ඩක්කා රුපියල් 60කටත් අලෙවි කළ යුතුයි. රුපියල් 70ක උපරිම මිලකට යටත්ව දඹල අලෙවි කළ යුතු අතර, ඉඟුරු සඳහා උපරිම මිල වන්නේ රුපියල් 150ක්.

    පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා කියා සිටියේ, මෙම උපරිම මිලට යටත්ව කටයුතු නොකරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 මාර්තු 2020 19:51

    Latest News