ශ්‍රී ලංකාව තුළ COVID-19 රෝගයට ගොදුරු වූ සංඛ්‍යාව 102 දක්වා ඉහළට (වීඩියෝ)

මාර් 24, 2020
  • COVID-19 රෝගයට ගොදුරු වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 102 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ, වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 05 දෙනෙකු අද හමුවීමත් සමඟයි.

    වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයන් අතරින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. එක් අයෙකු වන්නේ ප්‍රථම වරට කොරෝනා ආසාදනය වූ බවට ශ්‍රී ලංකාවෙන් හමුවූ චීන ජාතික කාන්තාවයි. අනෙක් පුද්ගලයා වන්නේ, ශ්‍රී ලංකාව තුළදී කොරෝනා ආසාදනය වූ බවට ප්‍රථමයෙන්ම තහවුරු වූ සංචාරක මඟ පෙන්වන්නායි. ඔහු ඊයේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව ගියේය.

    කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන තවත් 229 දෙනෙකු සම්බන්ධයෙන් මේ වනවිට රෝහල් කිහිපයකදී පරීක්‍ෂණ සිදු කෙරේ. වැඩිම රෝගීන් පිරිසක් මේ වනවිට වාර්තා වන්නේ කොළඹ, කලුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්.

    සාමාන්‍ය ජනතාව තවමත් මුඛ ආවරණ භාවිත කිරීම අත්‍යවශ්‍ය නොවන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය ද සාර්ථකව සිදු කෙරේ. නාවික හමුදාව යටතේ ද පුද්ගලයන් 145 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබේ. ඒ, බූස්ස නාවික හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේදී. එම නිරෝධායන මධ්‍යස්ථාන තුළ විදේශිකයන් 79 දෙනෙකු සහ මෙරට පුද්ගලයන් 66ක් වේ. නිරෝධායනය සාර්ථකව අවසන් කළ පිරිසක් අද සිය නිවෙස් බලා පිටව ගිය අතර, තවත් පිරිසක් හෙට නිරෝධායන කාලසීමාව අවසන් කිරීමට නියමිත බව, යුද හමුදාව පවසයි.

    විදේශ ගතව සිට මෙරටට පැමිණ ස්වයං නිරෝධායනයේ යෙදී සිටි හෝමාගම ප්‍රදේශයේ පවුල් 22ක් අද නිරෝධායනයෙන් මුදා හැරිණ. ඔවුන් අතර ඉතාලියේ සිට පැමිණි පවුල් 11ක් සහ වෙනත් රටවලින් පැමිණි පවුල් 11ක් වේ.

    ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර කටයුතු ද මේ වනවිට පුළුල් කෙරේ. එම පරිශ්‍රයේ තාවකාලිකව ගොඩනැගිලි ද්විත්වයක් ඉදි කෙරෙමින් පවතී. ඒ, ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකය විසින්. පසුගිය 18 වැනිදා ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම ගොඩනැගිලි දින 14කින් අවසන් කිරීමට නියමිතයි.

    Latest News