කොරෝනා ආසාදිත සංඛ්‍යාව 70 දක්වා ඉහළට

මාර් 20, 2020

    කොරෝනා වෛරසය ආසාදිත වූ මෙරට පුද්ගලයින්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ,  වෛරසය ආසාදනය වූ බවට අද තවත් තහවුරු කර ගැනීමත් සමඟයි. වෛරසය ආසාදිත බවට සැක පිට තවත් 04 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්‍ෂණ ක්‍රියාත්මකයි. කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳුනු බවට මෙරට දී ප්‍රථම වරට තහවුරු වූ චීන ජාතික කාන්තාවගෙන් පසු නැවත රෝගියෙකු වාර්තා වුයේ පසුගිය 11 වැනිදායි. ඔහු මෙරටදී රෝගය වැළඳුනු පුද්ගලයෙක්. මෙතෙක් වාර්තා වූ රෝගීන්ගෙන් වැඩි පිරිසක් ඉතාලියේ සිට මෙරටට පැමිණි පුද්ගලයන්.

    ඔවුන්ගෙන් 90%ක පමණ පිරිසක් ඉතාලියේ දී කොවිඩ් නයින්ටීන් රෝග ලක්‍ෂණ පහළ වූ පසු මෙරටට පැමිණි අය බව සෞඛ්‍ය අංශ පවසයි. සෙසු පිරිස මෙරටට පැමිණ පැය 24ක් ගතවීමට පෙර රෝග ලක්‍ෂණ පහළ වූ අයයි. මෙරට දී තහවුරු වු කොරෝනා ආසාදිතයින්ගෙන් 81%ක් පිරිමි පුද්ගලයන්. මෙතෙක් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

    ඊයේ තහවුරු කෙරුණු රෝගීන් අතර සිටි රාගම ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගියා රෝහලට ඇතුලත් වී ඇත්තේ, පසුගිය 16 වැනිදා. ඔහුට රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ ඔහුට ප්‍රතිකාර කළ නිලධාරීන් හා රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ.

    රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය ද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කෙරිණ. එකවර 500 දෙනෙකුට එහි පහසුකම් පවතී.

    පැය 72ක් තුළ ඉදි කෙරුණු වැලිකන්ද මූලික රෝහලේ කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර ඒකකය ඊයේ රාත්‍රී විවෘත කෙරිණ. මෙහි එකවර රෝගීන් 50 දෙනෙකුට ප්‍රතිකාර කළ හැකියි. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ හා යුද හමුදාපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ නව ප්‍රතිකාර ඒකකය ඉදිකර තිබේ. මෙහි දැඩි සත්කාර ඒකකයක් ද ස්ථාපනය කර තිබේ. මෙම ඒකකයේ ඉදිකිරීම් සඳහා පොළොන්නරුව මහ රෝහලේ සහ යුද හමුදාවේ පූර්ණ සහයෝගය ලැබී තිබිණ.

    හලාවත මහ රෝහලට අනුබද්ධව ඉදි කළ නිරෝධායන මධ්‍යස්ථානය ද අද උදේ විවෘත කෙරිණ. හලාවත මහ නගර සභාව ඊට වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 30ක්.

    කොවිඩ් නයින්ටීන් වැළඳුණු පුද්ගලයෙකු වැලිමඩ ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමඟ ඔහු සිටි ගම්මානයේ පුද්ගලයින් නිවෙස් තුලම නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ, වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින්.

    අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 76 දෙනෙකුට තම නිවෙස් තුල ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙස හැටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මොවුන් විදෙස්ගතව සිට මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද 205 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණු බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කරයි. ලබන 23 වැනිදා උදේ 6.00 වනතෙක් ඇඳිරිනීතිය පනවා තිබුන ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මගීන්ට එම අවස්ථාවේ වුව ද ගුවන් තොටුපලට ළඟාවිය හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි. ඔවුන්ගේ ගුවන් ටිකට්පත් සහ විදෙස් ගමන් බලපත්‍ර ආරක්‍ෂක නිලධාරීන්ට සහ මුරපොළ වෙත ඉදිරිපත් කරන ලෙසයි එම සමාගම මගීන්ගෙන් ඉල්ලා සිටී.

    සියලු තැපැල් මෙහෙයුම් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. විදේශයන්ගෙන් ලැබෙන පාර්සල් සහ තැපැල් භාණ්ඩ මධ්‍යම තැපැල් හුවමාරුවේ රඳවා තබා ගැනෙන අතර, රටේ පවත්නා යහපත් වු පසුව බෙදාහරින බව එම දෙපාර්තමේන්තුව පවසයි. වැඩිහිටි සහ රෝගාධාර ගෙවීම ද අත්හිටුවා තිබේ.

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ඉතාලියේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු අද දහවල් කුරුණෑගල පිහිටි කොරෝනා ප්‍රතිකාර ඒකකයට යොමු කෙරිණ. නිවසේ සිට ස්වයං නිරෝධායනයේ නිරතව සිටි ඔහුට එහි 13 වන දිනය වූ ඊයේ දිනයේ හදිසියේ උණ රෝගය වැළඳී ඇති බව වාර්තාවේ. ඔහු ඒ පිළිබඳව මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව අද දින පරීක්‍ෂණ කටයුතු සඳහා රැගෙන යාමට පියවර ගෙන තිබිණ.

    වන්දනා චාරිකාවක් සඳහා ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලංකාවේ සිය දෙනෙකු පමණ අද උදේ මෙරටට පැමිණියේය. ඒ, යු.එල්. 122 දරණ ගුවන් යානයෙන්. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව වාර්තාවේ.

    ඇඳිරිනීතිය පැවතිය ද අවසර හිමිව ඇති වාහනවලට අධිවේගී මාර්ග භාවිත කළ හැකි බව මාර්ග සහ මහා මාර්ග අමාත්‍යාංශය පවසයි. ඇඳිරිනීතිය බල පැවැත්වෙන කාලසීමාව තුළ සාමාන්‍ය මාර්ගවල වාහන ධාවනය සඳහා අවසර ලබාදෙන ආකාරයෙන්ම අධිවේගී මාර්ග වෙත ඇතුළුවීමට අවසර ඇති ඇඳිරි නීති බලපත්‍ර සහිත වාහනවලට, ගිලන්රථ සහ අත්‍යවශ්‍ය සේවාවන්ට අදාළ වාහනවලට අධිවේගී මාර්ග භාවිත කළ හැක. අධිවේගී මාර්ග භාවිත කිරීමේදී සැලකිලිමත්ව රිය පදවන ලෙස ද ඉල්ලීමක් කෙරේ.

    ජනතාව විශාල වශයෙන් ඒකරාශීවීම තහනම් කර තිබියදී ඊයේ දඹුල්ල ප්‍ර දේශයේ පාපැදි සවාරියක් පැවැත්වූ බවට තොරතුරු වාර්තා විය. ඒ පිළිබඳව කළ පරීක්‍ෂණයට අනුව දඹුල්ල නගරාධිපති සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කෙරිණ.

    පසුගියදා රත්නපුරයෙන් හමුවූ කොවිඩ් නයින්ටීන් රෝගීන් තිදෙනා ළඟින් ඇසුරු කළ පුද්ගලයන් 60 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තාවේ. ඔවුන් නිවෙස් තුලම නිරෝධායනයට යොමුකර තිබේ.

    කොරෝනා වෛරසය ශීග්‍රයෙන් ව්‍යාප්ත වූ රටවලින් පැමිණි පුත්තලම ප්‍රදේශයේ 1199 දෙනෙකු නිරෝධායනයට යොමු නොවී නිවෙස් වෙත ගොස් තිබේ. ඔවුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16කට අයත් බවයි වාර්තාවේ.

    Latest News