මහ මැතිවරණයට නාම යෝජනා බාරගැනීම අද මධ්‍යහ්න 12.00ට අවසන්

මාර් 19, 2020

    මහ මැතිවරණයට නාම යෝජනා බාරගැනීම අද මධ්‍යහ්න 12.00ට අවසන් විය.

    විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලසීමාවේදී පිළිගත් දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක නාම යෝජනා ප්‍රතික්‍ෂේප වූ බව අප වාර්තරුවන් පැවසූහ.

    කොළඹ දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ 19ක් ස්වාධීන කණ්ඩායම් 27ක් නාම යෝජනා බාරදුන්නේය. ඉන් එක් ස්වාධීන කණ්ඩායමක හා පිළිගත් දේශපාලන පක්‍ෂ 03ක නාම යෝජනා ප්‍රතික්‍ෂේප වූ බව දිස්ත්‍රික් තේරීම් නිලධාරී ප්‍රදීප් යසරත්න මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරග වදී.

    ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පිලිගත් දේශපාලන පක්‍ෂ 15ක් හා ස්වාධීන කණ්ඩායම් 18ක් නාම යෝජනා දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරයා විසින් පිළිගනු ලැබ තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය සමගි ජන බලවේගය අද නාම යෝජනා බාර දුන්නේය.

    කලුතර දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් 32ක් තරග වදී. ප්‍රධාන දේශපාලන පක්‍ෂ සියල්ල නාම යෝජනා ලබාදී තිබේ.

    අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය හා සමගි ජනබලවේගය අද සිය නාම යෝජනා පත්‍ර බාරදුන්නේය. ජාතික ජන බලවේගය, ඊයේ දිනයේදී නාම යොජනා බාර දී තිබේ.

    මහනුවර දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 12ක නාම යෝජනා දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරිවරයා පිලිගෙන තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය, සමගි ජනබලවේගය හා ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්‍ෂ රැසක් මහනුවර දිස්ත්‍රික්කය සඳහා තරග වැදීමට නියමිතයි.

    බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය, සමගි ජනබලවේගය හා ජාතික ජනබලවේගය ඇතුළු දේශපාලන පක්‍ෂ 12ක් තරග වඳී. ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 12ක්.

    මොණරාගල දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ 12ක හා ස්වාධීන කණ්ඩායම් 02ක නාම යෝජනා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා පිළිගෙන තිබේ.

    ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය, සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය ඇතුළු දේශපාලන පක්‍ෂ 13ක හා ස්වාධීන කණ්ඩායම් 13ක නාම යෝජනා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා පිළිගෙන තිබේ.

    මාතර දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ 16ක් හා ස්වාධීන කන්ඩායම් 08ක් මැතිවරණයට ඉදිරිපත්වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂ, සමගි ජනබලවේගය හා ජාතික බලවේගය එම පක්‍ෂ අතරවේ.

    හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා පිලිගත් දේශපාලන පක්‍ෂ 11ක් හා ස්වාධීන කණ්ඩායම් 08ක් නාම යෝජනා බාර දී තිබේ. විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට කණ්ඩායම් නායකයින් සියලු දෙනා සහභාගි වූහ.

    නුවරඑළිය ද්ස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ 12ක් හා ස්වාධීන කණ්ඩායම් 13ක් තරග වඳී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය, සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හා ජාතික ජනබලවේගය තරග වැදීමට නියමිතයි.

    කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා තරඟවදින පිළිගත් දේශපාලන පක්‍ෂ 11ක් ස්වාධීන කණ්ඩායම් 11ක නාම යෝජනා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා පිළිගෙන තිබේ. ප්‍රධාන දේශපාලන පක්‍ෂ සියල්ල කුරුණෑගලින් තරග වැදීමට නියමිතයි.

    පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ 11ක් සහ ස්වාධීන කණ්ඩායම් 08ක් තරග වඳී. ප්‍රධාන දේශපාලන පක්‍ෂ කිහිපයක් අද දිනයේ දී නාම යෝජනා බාර දුන්නේය.

    රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා කිසිවක් ප්‍රතික්‍ෂේප වී නැහැ. පිළිගත් දේශපාලන පක්‍ෂ 16කින් හා ස්වාධීන කණ්ඩායම් 06ක් මැතිවරණයට තරග වදී. ප්‍රධාන දේශපාලන පක්‍ෂ සියල්ල රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිතයි.

    අම්පාර දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන දේශපාලන පක්‍ෂ අද දිනයේ දී නාම යෝජනා බාර දුන්නේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය, සමගි ජනබලවේගය ඒ අතර වේ.

    මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ 16ක් සහ ස්වාධීන කණ්ඩායම් 22ක් නාම යෝජනා බාරදී තිබේ.

    යාපනය දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ 19ක් හා ස්වාදීන කණ්ඩායම් 14ක් තරග වදී.

    කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා පිළිගත්දේශපාලන පක්‍ෂ 13ක් සහ ස්වාධීන කණ්ඩායම් 08ක් තරග වදී. දේශපාලන පක්‍ෂයක හා ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා ප්‍රතික්‍ෂේප විය.

    Latest News