යළි සංවර්ධනය ආරම්භ කරන බව අගමැති කියයි

දෙසැ 16, 2018

    තමාගේ ප්‍රමුඛ කාර්යය රට සාමාන්‍ය තත්වයට පත්කර යළි සංවර්ධන කටයුතු ආරම්භ කිරීම බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසයි.

    අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් එතුමා මේ බව කියා සිටියේය. අනතුරුව අග්‍රාමාත්‍යතුමා විශේෂ ප්‍රකාශයක් කළේය.

    “දැන් මම අගමැති කමේ වැඩකටයුතු බාරගන්නවා. දෙවනුව තියෙන්නේ ඇමති මණ්ඩලය නම් කරන්න. මේ සති කිහිපය තුළදී අවාසනාවකට මේ රටේ ඉදිරි ගමන අපි ආරම්භ කළ සංවර්ධන ගමන නැවතුනා. එපමණක් නොවෙයි අසුබවාදී තත්වයකට මේ රට වැටුණා. අද අපි කැපවෙන්නේ පළමුවෙන්ම රටේ සාමාන්‍ය තත්වයක් ඇති කරලා රටේ සංවර්ධනය යළිත් ලබලා දෙන්න. ගිය අවුරුදු තුන තුලදී අපි එදා බාරගත්ත රටේ ආර්ථික, සමාජ, තත්වය යළිත් නිවැරදි කරන්න මේ රටේ ජනතාවටත් දුක් විඳින්න සිදුවුණා.

    මේ ප්‍රතිඵලය ලබල දෙන්න අපි ලැහැස්ති වුණ අවස්ථාවේදී තමයි මේ අර්බුදය ඇති වුණේ. කෙසේ හෝ ඊට වඩා හොඳ ජීවන තත්වයක් ආර්ථික වශයෙන්, සමාජිය වශයෙන් ඔබට ලබන දෙනවා කියලා මම මෙතන ප්‍රකාශ කරන්න කැමතියි. මේ රටේ පාර්ලිමේන්තුවත්, මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු අධිකරණයත් තමන්ගේ වැඩ කටයුතු නීත්‍යානුකූලව ඉටු කිරීම ගැන විශේෂයෙන් අපිට ආඩම්බර වෙන්න පුලුවන්.

    පාර්ලිමේන්තුව කෙලින්ම තමන් ගත යුතු තීරණ අරගෙන කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න පියවර ගත්ත, ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධ පියවරට මුහුණ දුන්නා. ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කරලා, ඒ අර්ථ නිරූපනය තුළින් මේ රටේ ජනතාවගේ නිදහස තවත් තහවුරු කළා. අපිට ඕනේ සාමාන්‍ය ජිවිතයක් ගෙන යන්න. අපිට ඕනේ අපේ දියුණුව. මේ නිසයි අපි ඔක්කොම කැපවෙලා තියෙන්නේ. මේ අවස්ථාවේ දී ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඕනේ කියලා විශාල සංඛ්‍යාවක් ප්‍රකාශ කළා. ඒ සියලු දෙනාටම ස්තුතියි. සියලු දෙනාටම ජයවේවා“ කියා ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍යතුමා සිය ප්‍රකාශයෙන් කියා සිටියේය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සදුදා, 17 දෙසැම්බර් 2018 10:20

    Latest News