මධ්‍යස්ථාන 16ක නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව සිදු කෙරේ

මාර් 17, 2020

    කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත රටවල සිට පැමිනි පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සාර්ථකව සිදු කෙරේ.

    පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව 16ක්. පුද්ගලයන් 2,258ක් එම මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව යුද හමුදාව පවසයි.

    කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා රජය අද සිට ලබන 19 වැනිදා දක්වා දින තුනක කාලයක් විශේෂ නිවාඩු ලෙස ප්‍රකාශ කර තිබේ. මහජන ඒකරාශිවීම් හැකිතාක් අවම කිරීම සඳහා රජය මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ. සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන අත්‍යවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර අනෙකුත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව බලපැවැත්වේ. මෙම නිවාඩු දිනයන් ප්‍රසිද්ධ නිවාඩු ලෙස නොසැලකේ. එසේම පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබාදෙන මෙන් රජය අදාළ අංශවලින් ඉල්ලා සිටී. වෛරසය ව්‍යාප්තිය පිළිබඳව අවධානය යොමු කරමින් තවදුරටත් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳව සලකා බැලීමට නියමිතව ඇත.

    රටේ පවත්නා සෞඛ්‍ය නීතිවලට පටහැනිව ක්‍රියා කළ බෙල්ජියම් ජාතික පුද්ගලයින් සිව් දෙනෙකු වවුනියා පොලිසිය විසින් වවුනියාව රෝහල වෙත යොමු කරනු ලැබ තිබේ. මෙම බෙල්ජියම් ජාතිකයින් සිව් දෙනා වවුනියාව රාජේන්ද්‍රකුලම් ග්‍රාමයේ නිවසක රැඳී සිටියදී ප්‍රදේශවාසීන් ඔවුන් පිළිබඳව පොලිසියට දැනුම් දුන්නේය. පසුව, ඊයේ පස්වරුවේ පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් එම නිවස පරීක්‍ෂා කර අදාළ පුද්ගලයින් සිව් දෙනා වවුනියාව රෝහල වෙත යොමු කළේය. ඔවුන් පිළිබඳ මේ වනවිට පරීක්‍ෂණ පවත්වන බව වාර්තාවේ.

    විදෙස් රටවල සිට මෙරටට පැමිණ වව්නියාව ප්‍රදේශයේ සිටි තවත් 134 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබේ. ඒ, වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත. එම පුද්ගලයින් 134 දෙනා යුද හමුදාවේ බස් රථ 3ක් මගින් ඊයේ පස්වරුවේ මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබුවේ, විශේෂ ආරක්‍ෂාව යටතේ. නිරෝධායනය සඳහා යොමු කෙරෙන සියලු දෙනාට අවශ්‍ය සියලු පහසුකම් යුද හමුදාව මගින් සලසා දී තිබේ.

    මාර්තු 01 සිට 15 දක්වා කාලය තුළ යුරෝපය, ඉරානය, දකුණු කොරියාව යන රටවල සිට මෙරටට පැමිණි සියළු දෙනා පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයේ 119 අංකය අමතා ලියාපදිංචි වෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ලියාපදිංචි වීමේදී පොලිස් ස්ථානයට පැමිණිම අවශ්‍ය නොවන බව එම නිවේදනයේ සඳහන් වේ. එම නියෝගවලට අනුව කටයුතු නොකරන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන පනත යටතේ, අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

    අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය අද පියවර ගත්තේය.

    ඒ අනුව ස්ථර තුනක් සහිත නොවියන ලද ලූපය සහිත හෝ ගැටගසන ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණ ආවරණ සඳහා රුපියල් 50ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. එන් 95 වර්ගයේ ශල්‍ය මුහුණු ආවරණ සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 325ක්.

    කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදිත පුද්ගලයන් අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු නිලධාරියෙකු ද සිටී. පසුගිය දින 14ක කාලසීමාව තුළ ඔහු සමඟ ගුවන් ගමන් සඳහා එක් වූ සියළුම ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වයං නිරෝධායනය කිරීමට බලධාරීන් උපදෙස් ලබාදී තිබේ. පසුගියදා පැවති කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නැරඹීම සඳහා ද මෙම පුද්ගලයා පැමිණ ඇති බව වාර්තාවේ.

    අවදානම් රටවල සිට පැමිණෙන ගුවන් මගීන් පසු විපරම් කිරීමේ ක්‍රියාවලිය ද සාර්ථකව සිදු කෙරේ. අද වනවිට එලෙස පසු විපරම් සිදු කෙරෙන මගීන් සංඛ්‍යාව 3,460ක්.

    දිවයිනේ සියළුම බන්ධනාගාරවල රැඳවියන් බැලීමට ඥාතීන් පැමිණිම හෙට සිට සති දෙකක කාලයක් සඳහා අත්හිටුවා තිබේ.

    අද සිට දුම්රිය මගීන්ට නොමිලයේ ගමන් කිරීමට අවස්ථාව උදාවී තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් මුදල් පරිහරණ කටයුතුවලින් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ගත් වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මෙලෙස ප්‍රවේශ පත් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. මේ අතර, පාර්සල් බාර ගැනීම ද තාවකාලිකව අත්හිටුවා තිබේ.

     

    Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 20:49

    Latest News