පොදු ස්ථාන විෂබීජහරණයට ලක් කරයි (වීඩියෝ)

මාර් 16, 2020
  • “කොරෝනා වෛරසය“ ව්‍යාප්තිය හේතුවෙන්, කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළ වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසයි.

    ගුවන් තොටුපලේ විෂබීජහරණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව සභාපතිවරයා කියා සිටී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ සෞඛ්‍ය බලකාය විසින්, අද කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපල විෂබීජහරණයට ලක් කළේය. ඒ, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ ද දායකත්වයෙන්. දින 3කට වරක් මෙසේ විෂබීජහරණ ක්‍රියාවලිය සිදු කිරීමට නියමිතයි.

    කොළඹ ඇතුළු වරායන්හි, විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි. 

    “කොරෝනා වෛරසය“ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අද ප්‍රකාශයට පත් කළ නිරෝධායන දිනයේදී නගර, බස්නැවතුම්පොළ විෂබීජහරණයට ලක් කෙරිණ. කොළඹ බැස්ටියන් මාවතේ බස් නැවතුම්පොළ විෂබීජහරණයට ලක් කෙරුණේ, ජාතික ගමනාගමන කොමිසමේ දායකත්වයෙනි. බස් නැවතුම්පොළට පැමිණෙන සියලු බස් රථ විෂබීජහරණය කෙරිණ. පැමිණෙන මගීන් සඳහා අත් සෝදා ගැනීමේ ස්ථාන කිහිපයක් ද පිහිටුවා තිබේ.

    මහනුවර බස් නැවතුම්පොළේ විෂබීජහරණයට අවශ්‍ය යන්ත්‍ර බෙදාදීම අද සිදු කෙරිණ. බස් රථ සහ බස් නැවතුම්පොළ ද පවිත්‍ර කෙරිණ.

    පොළොන්නරුව බස් නැවතුම්පොළේ ද විෂබීජහරණය කෙරිණ.

    හැටන් නගරය සහ නගරයෙන් පිටවන බස්රථ අද විෂබීජහරණයට ලක් කෙරිණ.

    බැංකු ශාඛා රැසක ද ATM යන්ත්‍ර භාවිතයෙන් පසු අත් සෝදාගැනීම සඳහා පහසුකම් සලසා තිබිණ.

    රාජ්‍ය ආයතන සහ සංස්ථාවල ද අත් සෝදාගැනීම සඳහා ස්ථාන පිහිටුවා තිබේ.

    Last modified on සදුදා, 16 මාර්තු 2020 19:28

    Latest News