“කොරෝනා“ පාලනයට රජයේ සෑම ක්‍රියාමාර්ගයකටම පූර්ණ සහය දිය යුතුයි; අගරදගුරු හිමිපාණෝ

මාර් 14, 2020

    “කොවිඩ් නයින්ටීන්“ රෝග ව්‍යාප්තිය පාලනයට රජය ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම සියළු පාර්ශව පූර්ණ සහය ලබාදිය යුතු බව, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

    උන් වහන්සේ කියා සිටියේ, විශාල වශයෙන් පිරිස් එක්රැස් වන දේව මෙහෙය නතර කිරීමට ද තීරණය කර ඇති බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව සඳහන් කළේය.
    කාදිනල් රංජිත් හිමිපාණන්...

    “රජය මේ “කොවිඩ් 19“ පැතිරයාම වැළැක්වීම සඳහා ගන්නා හැම පියවරකදීම අපි කතෝලිකයන් හැටියටත් සියලුම ආගම් අදහන ශ්‍රී ලංකා පුරවැසියන් හැටියටත් සහයෝගය ලබාදීම ඉතා වැදගත් දෙයක් බවට පත්වෙනවා. දේශපාලන මතිමතාන්තර, ආගම්, ජාති අනුව බෙදිලා කටයුතු කරන්නේ නැතුව සියළුම දෙනා මේ රටට උදාවිය හැකි භයානක තත්වයක් මඟ හරවා ගැනීමට සහයෝගයෙන් කටයුතු කළ යුතුයි කියලා ප්‍රකාශ කරනවා.

    ඒ වගේම මම කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කොරෝනා ව්‍යාප්තවීම මර්දනය කිරීම සඳහා අපිට දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන්න කියලා විශේෂ ඉල්ලීමක් කරනවා. සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ජනතාව අවුල් කරන, ජනතාව තුළ බිය ඇති කරන ප්‍රවෘත්ති පළ කිරීමෙන් වළකින ලෙස මම ඉල්ලා සිටිනවා. අපි රටක් හැටියට මොන ආගමක්, භාෂාවක් කතා කළත්, අපි සියලු දෙනාටම පොදුවේ ලැබෙන අභියෝගයකදී අපි එකට එකතු වෙන්න ඕනේ. මෙය ජය ගැනීමේ වැඩපිළිවෙළට දායක වෙන්නයි, සමාජ මාධ්‍ය ජාලයට පැවරෙන වගකීම වන්නේ. මේ අවස්ථාවේ දී මම විශේෂ ඉල්ලීමක් කරනවා. කලබලයට පත්වෙලා බඩු බාහිරාදිය එකතු කර තැබීමේ පිළිවෙතට යන්න එපා කියලා. අපිට සල්ලි තිබුණා කියලා අනෙක් මිනිසුන්ට පහසුකම් වළක්වන එක වැරදියි.

    ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ ඉදලම තිබිච්ච දෙයක් තමයි අපි අනුන් ගැන හිතන්නට පුරුදුවෙලා හිටපු එක. ඒක නැතිකරගන්න එපා. නිරෝධායනයට යෑම ලෝකයේ හැම රටකම සිද්ධ වෙනවා. ආරක්‍ෂක අංශවලින් මේ කරගෙන යන වැඩපිළිවෙළ ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ අයට ප්‍රශංසා කරනවා. කැපවීමෙන් යුතුව ඒ අය මේ නිරෝධායන කටයුත්තට අත ගහලා තියෙන එක ගැන. ඒ අය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. මේ වෙලාවේ එක්තරා මට්ටමක යුද්ධයක් වගේ එකත් තමයි කරන්නේ. මේ භයානක තත්වයෙන් රට ගොඩගන්නට අපි සියලු දෙනාම සංග්‍රාමයකට සම්බන්ධ වෙන්න ඕනේ“ යැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූහ.

    Last modified on සෙනසුරාදා, 14 මාර්තු 2020 18:32

    Latest News