රිය නියාමනයේ නියැලෙන සුවිශේෂි කාන්තාව; ලිලී අම්මා (වීඩියෝ)

මාර් 08, 2020
  • ජාත්‍යන්තර කාන්තා දිනය වන අද දවසේ සුවිශේෂි කාන්තාවක් පිළිබඳව කතා කරන්න අපි හිතුවා.

    රටේ අනාගත පරපුර ආරක්‍ෂා කිරීමට මේ සුවිශේෂි කාන්තාව කටයුතු කරන්නේ, පෙරලා කිසිවක් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි. නමින් ඇය, ලිලී වයලට්, වයස අවුරුදු අසූවත් ඉක්මවලා. උදෙන්ම ගෙදර වැඩ කටයුතු අවසන් කරලා, නිවසින් පිටත්වෙනවා. ඒ සුවිශේෂි රාජකාරියක් සඳහායි. හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කණිෂ්ඨ විද්‍යාලය අසල රිය නියාමනයයි, ඇයගේ රාජකාරිය. උදේ 6.00ට කටයුතු ආරම්භ කරන ඇය, සවස 4.30 පමණ වනතුරු පාසල අසල රැඳී සිටිමින් සිසු දරුවන්, ගුරුවරුන් ආරක්‍ෂිතව පාර මාරු කිරීමේ කටයුතුවල නිරත වනවා. මේ ස්ථානයේ රථවාහන පොලිස් නිලධාරීන් නැත්තේ ලිලී අම්මා ඒ රාජකාරිය ඉතාම වගකීමෙන් ඉටු කරන නිසයි.

    “මගේ ළමයා ඉස්කෝලේ එක්ක ගෙන ගිය දවසේ ඉඳලා මම මේ රාජකාරිය කරන්නේ. දැනට අවුරුදු 45ක් වෙනවා ඉස්කෝලේ ගාව ඉන්නේ. තවත් යනවා. දැන් මගේ වයස අවුරුදු 83යි. තව පුලුවන් කල් කරනවා.

    ඇයගේ කාර්යය කෙතරම් වටිනවද කිව්වොත්, 5 ශ්‍රේණිය සිංහල කියවීම් පොතෙහි “ පාර කියන අත්තම්මා“ ලෙස ඇය පිළිබඳ වෙනම පාඩමකුත් තියෙනවා. විවිධ අවස්ථාවලදී අත්තම්මා ඇගයීම් රැසකට පාත්‍ර වුණා. කිසිදු ලාබ ප්‍ර යෝජනයක් නොලැබුණත්, ස්ව කැමැත්තෙන් තවත් කෙනෙකුගේ ජිවිතය ආරක්‍ෂා කිරීමට කටයුතු කරන ලිලී අම්මාට අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.

    Last modified on සදුදා, 09 මාර්තු 2020 20:31

    Latest News