රවීට වරෙන්තු නිකුත් කරයි ද?....... තීරණය අද

මාර් 06, 2020

    හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනාට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන පිළිබඳ නියෝගය ලබා දීම අද (6) දහවල් 2.30 තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

    මහබැංකු බැඳුකර සිද්ධිය සම්බන්ධ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් වරයා මේ බව සඳහන් කළ අතර, වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා විසින් නීතීපතිට ප්‍රශ්න 7 කින් යුත් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළ අතර, නීතිපතිවරයා ඒ සඳහා වේලාවක් ලබා දෙන ලෙස මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය.

    මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට පෙර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පැහැදිලි කරගැනීමක් අවශ්‍ය බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද දැනුම් දුන්නේය.

     

    ඒ, ඊට අදාළ නඩුව අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදීය.

    අදාළ කරුණු සඳහා පිළිතුරු අද පස්වරු 2.30 ට පෙර අධිකරණයට දැනුම් දෙන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මියට නියෝග කළේය.

    ඒ අනුව, මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ සැකකරුවන් අතුරින් ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරියෙකු වන බුද්ධික සරච්චන්ද්‍ර මහතාට සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් 03 දෙනෙකුට මෙම සිද්ධියට අදාළව වරෙන්තු නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබේද යන්න පිළිබඳවයි.

    මෙකී අපරාධයට ඔවුන්ගේ සෘජු දායකත්වය පැහැදිලි කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

    එමෙන්ම බැඳුම්කර වෙන්දේසියේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව සහ සේවක අර්ථ සාධක අරමුදල යන ආයතන, කොපමණ මුදලක් වැය කර, කොපමණ කොටස් මිලදී ගත්තේදැයි නිශ්චිතව තම අධිකරණයට පැහැදිලි කරගත යුතු බව ද මහේස්ත්‍රාත්වරයා පැවසුවේය.

     

    Latest News