“කොරෝනා“ මෙරටට පැමිණෙන සියලු මගීන් නිරෝධායනයට

මාර් 04, 2020

    කොරෝනා වෛරසය ශීග්‍රයෙන් පැතිරෙන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියලු මගීන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, හැඳල ලාදුරු රෝහල ඊට යොදා ගන්නා ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත්කර ඇති බවයි. කොරෝනා වෛරසය පිළිබඳ ජාතික ක්‍රියාකාරී ආරක්‍ෂක කමිටුව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අවස්ථාවේ මේ තීරණය ගෙන තිබෙනවා. එහිදී ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියෙන් පැමිණෙන මගීන් සියලු දෙනා දින 14ක් නිරෝධායනයට ලක් කිරීමට තීරණය කෙරුණා.

    හැඳල ලාදුරු රෝහල තෝරාගෙන ඇත්තේ, එක් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙසයි. ඊට හේතුවී තිබෙන්නේ, එම රෝහල ගුවන් තොටුපොළ ආසන්නයේ පැවතීම හා ඉඩ පහසුකම් සහිතවීමයි. නිරෝධායන ක්‍රියාවලිය සඳහා රෝහල් පරිශ්‍රයේ ඇති දැනට භාවිත නොකරන ගොඩනැගිල්ලක් යොදා ගැනෙනවා. එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන්නේ යුද හමුදාවේ දායකත්වයෙන්. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, නිරෝධායන කෙරෙන පිරිස් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් රෝහල් පරිශ්‍රයේ සලකා ඇති බවයි.

    නිරෝධායනය නොකළහොත්, කොරෝනා වෛරසය නොදැනුවත්වම රට තුළට ඇතුලුවීමේ අවදානමක් පවතිනවා. එම නිසා විද්‍යානුකූල පියවරක් ලෙස නිරෝධායන ක්‍රියාවලිය සිදු කිරීමට ජාතික ක්‍රියාකාරී ආරක්‍ෂක කමිටුව තීරණය කර තිබෙනවා. මේ අතර, දකුණු කොරියාවේ සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික පවුලක්, කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට බදුල්ල මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රංජිත් අමරකෝන් මහතා සඳහන් කළේ, කුඩා දරුවාට උණ තත්වයක් ඇතිවීම හේතුවෙන් මව, පියා ඇතුලු තිදෙනාම විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු බවයි. ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් හෙළි වී නැතැයි ඔහු ප්‍රකාශ කළා.

    Latest News