ඇවන්ට්ගාඩ් නඩුව මැයි මස 4 විභාගයට

මාර් 02, 2020

    ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා 19 කට අදාළ විභාගය මැයි මස 4 වනදා සිදු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

    ගාලු වරාය ආසන්න මුහුදේ නෞකාවක් තුළ නීති විරෝධී ලෙස ගිනි අවි 816ක් සහ උණ්ඩ 202395 ක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ව මෙම නඩු විභාගය සිදු කරනු ලබයි.

    ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය සිදු කර ඇත.

    එදින සාක්ෂිදීම සඳහා සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමටද නියෝග කරන ලදී.

    ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව චෝදනා 7573 ක් යටතේ මීට පෙර කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

    එම චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නීතිපතිවරයා විසින් ගොනු කළ චෝදනා 7573 ක් අතුරින් පවත්වාගෙන යා හැක්කේ චෝදනා 19 ක් පමණක් බව පෙන්වා දෙමින් එම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් පස්දෙනෙකු නිදහස් කිරීමට ඉකුත්දා නියෝග කර තිබුණි.

    Latest News