IDH රෝහලට ඇතුලත් කෙරුණු දෙදෙනාට කොරෝනා ආසාදනය නැහැ; සෞඛ්‍ය අංශ

පෙබ 29, 2020

    ඉතාලියේ සිට පැමිණ අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කරනු ලැබූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා කොරෝනා ආසාදනයට ලක්ව නැති බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කරයි.

    ලොව පුරා කොරෝනා වෛරස් ආසාදන ව්‍යාප්තිය වඩාත්ම අනතුරුදායක තලයකට එළැඹ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    එහෙත්, ව්‍යාප්තිය මැඩපැවැත්වීමට හැකි වුවහොත්, ගෝලීය වසංගත තත්වයක් වැළැක්වීමට තවමත් ඉඩ-කඩ තිබෙන බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස.

    ඉතාලියේ සිට පැමිනි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඊයේ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරිණ. ඒ, කොරෝනා ආසාදන තත්වයක් පවතී ද යන්න නිශ්චිත වශයෙන් තහවුරු කැගැනීම සඳහා. කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනාට “කොවිඩ් නයින්ටීන්“ රෝගය වැළැදී නොමැති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හසිත අත්තනායක මහතා ජාතික රූපවාහිනිය කළ විමසීමකදී තහවුරු කළේය.

    කොරෝනා ආසාදනය දැනට ව්‍යාප්තව පවතින රටවලින් මෙරටට පැමිණෙන සියලුම පුද්ගලයන් පිළිබඳව නිරත්තර පසු විපරමක් සිදු කරන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, යම් කිසි ආකාරයක රෝග ලක්‍ෂණයක් පළ කරන්නේ නම් ඔවුන්, රෝහල්ගතව පරීක්‍ෂණ සඳහා යොමු කෙරේ. ඒ ආකාරයෙන් රෝහල්ගත කරනු ලැබූ නව දෙනෙකු තවමත් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    අද වන විට ගෝලීය වශයෙන් වාර්තාවන “කොවිඩ් නයින්ටීන්“ රෝගීන් සංඛ්‍යාව 85,691ක්. මරණ සංඛ්‍යාව 2,933ක් ලෙසයි වාර්තා වන්නේ. චීනයෙන් අද දිනයේත් රෝගීන් 433 දෙනෙකු සොයා ගනු ලැබුවා. ගතවූ පැය 24 තුල චීනයේ 47 දෙනෙකු රෝගයෙන් මියගියා. චීනයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 2,835ක්.

    කෙසේ වෙතත්, චීනයට සාපේක්‍ෂව දෙගුණයක රෝග ව්‍යාප්ති වේගයක්, දකුණු කොරියාවෙන් වාර්තා වුණා. පැය 24ක් තුළ එරටින් සොයා ගනු ලැබූ රෝගීන් සංඛ්‍යාව 813ක්. සමස්ත රෝගීන් සංඛ්‍යාව 3,150 දක්වා වැඩි වුණා. මරණ 17ක් සිදුවී ඇති අතර, ගත වූ පැය 24 තුළ වාර්තා වූයේ, එක් මරණයක් පමණයි. රෝග මැඩපැවැත්වීම සඳහා දකුණු කොරියාව අද එරට හමුදාව යෙදවූවා. නිරෝදායන හා ජීවානුහරණ මෙහෙයුම් සඳහා සෙබලුන්ගේ සහය ලබා ගැනෙනවා. දකුණු කොරියාවේ තත්වය පිළිබඳ එරට සිටින ශ්‍රී ලාංකිකයන් ජාතික රූපවාහිනියට අදහස් පළ කළා.

    යුරෝපයේ වැඩිම ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙසෙන ඉතාලියේ ද රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවනවා. දැනට ඉතාලියෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 889ක්. මරණ 21ක් සිදුව තිබෙනවා. උතුරු දිග ඉතාලියේ නගර හා ගම්මාන 12ක් ඇතුළත් කලාපයක් අනතුරුදායක ප්‍රදේශය ලෙස නම්කර තිබෙනවා. සංචාරක කේන්ද්‍රයක් වන සුප්‍රකට වැනීසිය ද ඊට ඇතුළත්.

    මේ අතර යුරෝපය තුළ කොරෝනා වෛරස් ආසාදන ව්‍යාප්තිය බහුල වශයෙන් දක්නට ලැබෙනවා. ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ස්විට්සර්ලන්තය, ග්‍රීසිය ඇතුළු රටවල් 20කින් රෝගීන් හමුව තිබෙනවා. යුරෝපා මහද්වීපයෙන් බැහැරව පිහිටි අයිස්ලන්ත දූපතෙන් ද අද මුල්වරට කොවිඩ් නයින්ටීන් රෝගියෙක් සොයා ගැනුණා.

    මේ අතර, රෝගය වැළැඳුණු ආකාරය පිළිබඳව කිසිදු පැහැදිලි කිරීමක් ලබාදීමට නොහැකි රෝගීන් තිදෙනෙකු අමෙරිකාවෙන් හමුවීම පිලිබඳව එරට සෞඛ්‍ය අංශ දැඩි විමසිල්ලෙන් පසුවනවා. එම පුද්ගලයන් කිසිදු බාහිර පාර්ශවයක් හා සම්බන්ධ නොවී තිබියදීත්, රෝගයට ගොදුරු වුණා. මෙය බරපතල ගැටලු සහගත තත්වයක් බවයි, අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කරන්නේ.

    මේ අතර, කොරෝනා අර්බුදය ලෝකයේ රටවල් අතර නව සබඳතා ගොඩනැගීමට සමත්ව තිබෙනවා. ඉන්දියාව හා චීනය අතර විවිධ ක්‍ෂෙත්‍රවලින් ගැටලු පැවතුනත්, රෝග මර්දනයට දෙපාර්ශවය දැඩි සහයෝගයෙන් ක්‍රියා කරනවා. චීනයට අවශ්‍ය හදිසි වෛද්‍ය උපකරණ ටොන් 15ක් රැගත් ඉන්දීය හමුදා ගුවන් යානයක් බ්‍රහස්පතින්දා නවදිල්ලියේ සිට වූහාන් බලා පිටත් කර හැරුණා.

    Latest News