පාස්කු ප්‍රහාරය ගැන CID විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමට කාර්ය සාධක බලකායක්

පෙබ 23, 2020

    පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමට කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.

    සාමාජිකයන් 6 දෙනෙකුගෙන් සමන්විත එහි ප්‍රධානියා වන්නේ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතායි. කිතුනු දේවස්ථාන හා හෝටල් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරය පිළිබඳ විමර්ශන කඩිනම් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් මත කාර්යසාධක බලකාය පිහිටුවූ බව ආරක්‍ෂක ලේකම් මේජර් ‍ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත‍මේන්තුව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය සොයා බලා සෑම සතියකටම වරක් ආරක්‍ෂක ලේකම්වරයාට වාර්තාවක් ඉදිරිපත් කිරීම කාර්ය සාධක බලකායට පැවරෙන ප්‍රධාන කාර්යයක්.

    පසුගිය පාලන සමයේ ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ ඵලදායීව සිදු නොවූ බව ආරක්‍ෂක ලේකම්වරයා පවසයි. වත්මන් පාලනය යටතේ ද සාධාරණ පරීක්‍ෂණයක් සිදු කිරීමට අපොහොසත් වුවහොත්, ප්‍රහාරයෙන් ජිවිතක්‍ෂයට පත්වූ හා තුවාල ලැබූවන්ට සාධාරණයක් ඉටු නොවන බව ඔහු පෙන්වා දෙයි. ආරක්‍ෂක අමාත්‍යාංශයට අයත් සියලු බුද්ධි අංශවල දායකත්වය ලබාගෙන ප්‍රහාරයට අදාළ සත්‍ය තොරතුරු හඳුනාගැනීම හා රැස් කිරීම සහ නව තොරතුරු, සාක්‍ෂි එක්රැස් කිරීම මගින් ඊට අදාළ අන්තවාදී පිරිස් නීතිය හමුවට ගෙන එන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇතැයි ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියේය. ඉදිරියේදී මහජන ආරක්‍ෂාව සහ ජාතික ආරක්‍ෂාව සහතික කරමින් මෙවැනි ප්‍රහාර එල්ලවීම වැලැක්වීම කාර්ය සාධක බලකාය පිහිටුවීමේ තවත් අරමුණක්.

    Latest News